Sinhala

“බලයලත් නියෝජිතයකුගේ සේවාව ලබා ගනිමින් වාහනයේ වටිනාකම වැඩි කර ගන්න” – සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA)

වසර 100 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA),  වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් පවතින වාහනවල  වටිනාකම ඉහළ නැංවීම පිණිස, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරයි. ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදක සමාගම්වල බලයලත් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එම සංගමය සඳහන් කරන්නේ, වාහන හිමියන් විසින් තම වාහනවල නඩත්තු හා අලුත්වැඩියාවන්, නිෂ්පාදන සමාගම් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතු බවයි. තවද, ඔවුන්ගේ වාහන සඳහා සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදීද දැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි.

වාහන ආනයන තහනම හේතුවෙන්, මේ වන විට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින්, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙලෙස සඳහන් කරයි. “ වාහන සම්බන්ධයෙන් වගකිවයුතු දේශීය සංගමයක් වශයෙන් වාහන හිමියන් ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. ඒ නිසාම, බලයලත් නියෝජිතයින් වෙතින් පමණක් වාහන තෝරා ගන්නා ලෙස අපි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමට අපි කැමතියි. ඒ වගේම,  හදිසි අනතුරු අලුත්වැඩියාවන්, නියම අමතර කොටස්, වාහන පරීක්ෂා කිරීම, ආදී වශයෙන් වාහන අලුත්වැඩියාවන් සම්බන්ධ සියලු සේවාවන් ඉහළම මට්ටමෙන් මෙන්ම, වගකීමෙන් යුතුව එකම වහලක් යටින් ලබාගත හැකි බලයලත් නියෝජිතයින් වෙත වාහන පාරිභෝගිකයින් යොමු කිරීමත් අපගේ වගකීමක්.” 

මේ වන විට, වෙළෙඳ පොළේ ඇති නවතම වාහන ඉතාමත් දියුණු තත්වයේ වාහන වන අතර, එන්ජින් පාලන ඒකකය (ECU), සංවේදක, ඉලෙක්ට්‍රොනික තිරිංග පද්ධතිය වැනි ඉලෙක්ට්‍රොනික පද්ධති වලින් සමන්විත වන අතර, බොහෝ බලයලත් නොවන සේවා ස්ථානවල වාහන සේවාවන් සිදු කරන පිරිසට ඒ සඳහා නිසි පුහුණුවක් හෝ මග පෙන්වීමක් නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. සේවා ස්ථානවල කාර්මික ශිල්පීන් සියලු දෙනා, නවතම වාහන වල පවතින ඉලෙක්ට්‍රොනික පද්ධති පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ලබා ගැනීම වැදගත් වන අතර, ජාත්‍යන්තර වාහන නිෂ්පාදන සමාගම්වල බලයලත් සේවා මධ්‍යස්ථානයන්හි සේවයෙහි නිරත කාර්මික ශිල්පීන්ට එම පුහුණුව නිසි පරිදි ලැබේ.

පරිගණක ගත කර ඇති නවීනතම වාහනවල, නිෂ්පාදකයින් විසින් නිකුත් කරනු ලබන මෘදුකාංග (software) ආශ්‍රයෙන් ඒවායේ මතු වන ගැටලු සොයාගත හැකිය. වාහනවල ගැටලු විනිශ්චය සඳහා උපකාරී වන මෙම නවතම සහ නියම මෘදුකාංග ලබා ගැනීමට හැකියාව ඇත්තේ, බලයලත් නියෝජිතයින්ට පමණි. එමෙන්ම, බලයලත් නියෝජිතයන් සෑම විටම සෑම වාහනයක් සඳහාම, ජාත්‍යන්තර නිෂ්පාදකයින් විසින් නිර්දේශ කරනු ලබන විශේෂ මෙවලම් සහ උපකරණ භාවිතා කරන අතර, ඉන් සේවාවන් අතරතුර වාහනයට හානියක් නොවේ. බලයලත් නොවන සේවා ආයතනවල සෑම වාහනයක් සඳහාම එකම මෙවලම් හා උපකරණ භාවිත කරනු දක්නට ලැබේ. අතීතයේ දී මෙන් නොව, නවීනතම මෝටර් රථයක පවතින පරිගණකගත උසස් මෘදුකාංග හෝ යන්ත්‍ර වැරදි ලෙස අලුත්වැඩියා කිරීමේදී සිදුවන ඕනෑම වරදක් හේතුවෙන් වාහනයට සහ එතුළ ගමන් ගන්නා පිරිසට ද විශාල හානියක් විය හැකිය.

එබැවින්, වාහන සඳහා සේවාවන් ලබා ගැනීමේදී, නිසි මෘදුකාංග, තාක්‍ෂණික දැනුම සහ නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රම බලකායකින් සමන්විත බලයලත් නියෝජිතයින්ගේ සේවය ලබා ගන්නා ලෙස සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) වාහන හිමියන්ට නිර්දේශ කරයි.

“වාහන නිෂ්පාදකයින් විසින් තම සන්නාමයේ වාහන සඳහා උසස් තත්ත්වයේ සේවාවක් සහතික කිරීම පිණිස බලයලත් නියෝජිතයන් නිරන්තර අධීක්ෂණයට ලක් කරනු ලබයි. පාරිභෝගික තෘප්තිමත්භාවය සහතික කරමින්,  සන්නාමයේ කීර්තිය සහ ඉහළම ප්‍රමිතියෙන් යුතුව සේවාවක් පවත්වා ගැනීමට මෙම අධීක්ෂණ ක්‍රියාවලිය අතිශයින්ම වැදගත්.” යනුවෙන්  අමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම, බලයලත් නියෝජිත නොවන සේවා මධ්‍යස්ථාන මගින් අලුත්වැඩියාවන් සිදු කර ගැනීමේදී, පිරිවැය විශාල වශයෙන් අඩු, ව්‍යාජ අමතර කොටස් යොදා ගැනීම නිසා වාහන හිමියා ව්‍යාජ අමතර කොටස්වල ගොදුරක් බවට පත් වෙන ආකාරයද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය පෙන්වා දෙයි. බලයලත් සේවා මධ්‍යස්ථාන විසින් අලුත්වැඩියාවන් සිදු කිරීමේදී භාවිත කරනු ලබන්නේ, නියම අමතර කොටස් පමණි. ඒ හේතුවෙන්ම, බලයලත් සේවා මධ්‍යස්ථානවලින් සේවාවන් ඉටු කර ගැනීමේදී වැය වන පිරිවැය අධිකය යන මතය සමාජය තුළ මුල්බැස තිබේ. එහෙත් එය වැරදි මතයක් වන අතර, ව්‍යාජ අමතර කොටස් යෙදීමෙන් වාහනයට හා එහි ගමන් කරන්නන්ගේ ජීවිතවලට සිදු විය හැකි හානිය එමෙන් සිය දහස් ගුණයකින් වැඩිය. බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්නා වාහන සමග නිෂ්පාදක සමාගම් විසින් පිරිනමන වගකීම් සහතිකය ලබා දෙන බැවින්, අමතර කොටස් සඳහා පිරිවැය එම සමාගම් විසින් දරනු ලැබේ. එනිසා, ඕනෑම වාහනයේ කොටසක දෝෂයක් ඇත්නම්, බලයලත් නියෝජිතයා මගින් ඒ සඳහා නියම අමතර කොටස් යොදා ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව බලයලත් නියෝජිතයින් සතුව පවතී. එහෙත් ‘වගකීමේ සහතිකයක් ලබා දෙන බලයලත් නියෝජිතවරුන් නොවන සේවා මධ්‍යස්ථානවලට, අමතර කොටස් සඳහා වන වියදම් තමන් විසින් දැරිය යුතු අතර, ඒ හේතුවෙන්, බොහෝ විට වියදම් අවම කිරීම සඳහා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබද කිසිදු සැලකිල්ලක් නොදක්වා, ව්‍යාජ අමතර කොටස් යෙදීමට සමහරු උත්සුක වෙති. සියලුම බලයලත් මධ්‍යස්ථාන විසින් ඔවුන්ගේ සේවා ප්‍රමිතීන් නිසි පරිදි අධීක්ෂණය කරනු ලබන අතර, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සේවාවක් පිරි නැමීම සඳහා වන දැක්මකින්ද කටයුතු කරයි.

පාරිභෝගිකයින් හා දීර්ඝ කාලීන සබඳතා ගොඩනඟා ගැනීම, ඔවුන් නියෝජනය කරන වාහන සන්නාමය ව්‍යාප්ත කිරීම මෙන්ම වාහන හිමිකරුවන් ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබා දීම ආදී කරුණු ඔවුන්ගේ නිරන්තර අවධානයට ලක් වේ.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිතව, 1920 දී පිහිටුවන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ක්ෂේත්‍රෙය් ශ්‍රී ලාංකීය හඬ වශයෙන් පිළි ගැනේ. එමෙන්ම කලාපයේ පැරණිම වාහන ව්‍යාපාරික සංගමය එම සංගමය වන අතර, බලයලත් නියෝජිතවරුන් හරහා වාහන නිෂ්පාදනයින් සමග සෘජු සබඳතා පවත්වන එකම සංගමයද එය වෙයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ජාත්‍යන්තර වශයෙන් හොඳම ඉංජිනේරුමය හා කළමණාකරණ ක්‍රමවේද රටට ගෙන එමින් රට තුළ ජාත්‍යන්තර වශයෙන් පුහුණු කුසලතා සංචිතයක් බිහි කරන අතරෙහි, එහි සාමාජිකයෝ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට රැකියා සපයමින් ඔවුහු සංවර්ධනය කරති.

ඡායාරූප විස්තරය

  1. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපති යසේන්ද්‍ර අමරසිංහ
Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *