Online Media Highlights

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය, EDB සහ Smart Expos සමඟ එක්ව දැවැන්ත ඔන්ලයින් ප්‍රදර්ශනයක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos & Fairs ප්‍රයිවට් ලිමිටඩ් හා එක්ව, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) හවුල්කාරීත්වයද ඇතුව ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ ඔන්ලයින් ප්‍රදර්ශනයක් (වර්චුවල් එක්ස්පෝ) මෑතකදී දියත් කරන ලදී.  

මාර්ගගත (ONLINE) ක්‍රමයට පවතින මෙම සුවිශේෂී ප්‍රදර්ශනය ආරම්භ කිරීම EDB හි සභාපති සුරේෂ් ඩී මෙල් මහතා අතින් සිදු කෙරුණු අතර,  ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ තායිවානය යන රටවල් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් 100 කට වැඩි සංඛ්‍යාවක් මෙයට සහභාගී වී ඇත.   

මෙම ඔන්ලයින් ප්‍රදර්ශනය සඳහා https://srilanka.smartvirtualexpos.com යන ලින්ක් එක හරහා පිවිසිය හැකිය. 

රබර් නිෂ්පාදනය හා බැඳුණු කර්මාන්තය ශ්‍රී ලංකාවේ සිව්වැනි විශාලතම අපනයන කර්මාන්තය වන අතර, 2020 වර්ෂයේ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන අතර, සියයට 7.9ක (ඇමරිකානු ඩොලර් 786ක) වෙළඳ පොළ කොටසකට රබර් කර්මාන්තය  හිමිකම් කියන ලදී.  ගෝලීයව ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය විශාල කීර්තියක් අත්පත් කරගෙන ඇත්තේ එහි වූ ඉහළ ගුණාත්මකභාවය හේතුවෙන්ය. 

මෙහිදී අදහස් දක්වමින් EDB හි සභාපති සුරේෂ් ඩී මෙල් මහතා මෙලෙස පවසා සිටී.  “රබර් කිරි සහ වියලි රබර් වලින් ශ්‍රී ලංකාව තුළ ටයර්, අත්වැසුම්, කාර්මික උපාංග, පැදුරු, විවිධ ක්‍රීඩා භාණ්ඩ වැනි විවිධාකාර එකතු කළ අගයයන් සහිත රබර් නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කරයි. අපගේ ප්‍රධාන අපනයන ගමනාන්තයන්  වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ජර්මනිය, බෙල්ජියම, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව යන රාජ්‍යයන්.”

PRISL, ස්මාර්ට් එක්ස්පෝස් සමඟ එක්ව පසුගිය වසර 8 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොම්ප්ලාස්ට් (COMPLAST) සහ Rubexpo සාර්ථකව සංවිධානය කරන ලද අතර, ඒ හරහා දේශීය ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයට සුවිශේෂී ගෝලීය අවස්ථාවන් රැසක් විවර විය.

දේශීය  රබර් සහ ප්ලාස්ටික් අපනයනකරුවන්ට ගෝලීයව පවතින සුවිශේෂී අවස්ථාවන් සැළකිල්ලට ගනිමින් මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමේ වැදගත්කම වටහාගත් EDB සහ PRISL විසින්, පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳද සළකමින් Complast  සහ  Rubexpo ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමේ වැදගත් තීරණයට එළඹිණි.

ජනවාරි 25 වන දින දියත් කරන ලද iComplast & iRubexpo හි ඔන්ලයින් ප්‍රදර්ශනය 2021 පෙබරවාරි මස 26  වන දින දක්වා පැවැත්වේ. 

iComplast & iRubexpo යනු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන මිලදී ගැනීමට අපේක්ෂා කරන දෙස් විදෙස් ඕනෑම අයකුට තම නිෂ්පාදන ප්‍රවර්ධනය හා ප්‍රදර්ශනය කිරීම සඳහා කදිම වේදිකාවකි. තවද මෙම ප්‍රදර්ශන ද්විත්වය මගින් දේශීය රබර් සහ ප්ලාස්ටික් කර්මාන්තය නව තාක්ෂණය හරහා ජාත්‍යන්තර වෙළඳපල හා සම්බන්ධ කරයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී මේල් මහතා පවසා සිටියේ දේශීය රබර් නිෂ්පාදන අංශය මෙවැනි සුවිශේෂී ප්‍රදර්ශන අවස්ථාවන්  කර්මාන්තයේ සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා යොදා ගත යුතු බවයි.  2025 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2 කින් රටේ අපනයන ඉපැයීම් සඳහා දායක වීමට සමස්ත කර්මාන්තයම අරමුණු කර ගත යුතු බව ද හෙතෙම කීහ.  අවසාන වශයෙන් මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සඳහා ඔවුන් සමඟ අත්වැල් බැඳ ගත් PRISL ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට හෙතෙම සිය ස්තූතිය පළ කර සිටියේය. 

මෙහිදී අදහස් දක්වමින් PRISL හි සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා පැවසුවේ,  දශක හයකට වැඩි කාලයක් තිස්සේ ජාතියට සේවය කළ ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය දේශීය පොලිමර් කර්මාන්තයේ දියුණුව හා සංවර්ධනය සඳහා ප්‍රබල උත්ප්‍රේරකයක් බවයි. තවද ඔවුන් පසුගිය කාලය තුළ  EDB, කර්මාන්ත අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ IDB වැනි රාජ්‍ය ආයතන අතර සහයෝගීතා සබඳතා ශක්තිමත් කරගනිමින් කර්මාන්තයේ වර්ධනය උදෙසා කැපවී ක්‍රියා කළ  බවයි. 

පුහුණු, වැඩමුළු සහ ප්‍රදර්ශන සඳහා විදේශීය සංවිධාන හා විශ්ව විද්‍යාල සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගැනීම සඳහා   PRISL නිරන්තරයෙන් කටයුතු කරන අතර,   2018 වර්ෂයේදී රාජ්‍ය / පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස Finite Element Analysis and Simulation Centre (FEASC) පිහිටුවීම PRISL ඉතිහාසයේ සුවිශේෂී උපායමාර්ගික සන්ධිස්ථානයකි.

PRISL හි විදේශීය හවුල්කරු වන  Smart Expos සහ  Fairs India Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී බී ස්වාමිනාදන් මහතා මේ පිළිබඳ අවසන් වශයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි ඔන්ලයින් ප්‍රදර්ශනයන් ඉදිරියේදී ශ්‍රී ලාංකීය නිෂ්පාදන ලොවට හඳුන්වා දීමට විශේෂ අවස්ථාවක්  වන බවයි.

මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් චමින්ද පෙරේරා (+947776129468) අමතා ලබා ගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *