Sinhala

භාවිතා කරන ලද වාහන වෙළෙඳ පොළේ සිදුවන වංචාවලින් ප්‍රවේසම් වන්න -CMTA අනතුරු හඟවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිය වසක ඉතිහාසක් හිමි  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) , ශ්‍රී ලංකාවේ භාවිත කළ වාහන වෙළෙඳ පොළෙහි සිදුවන විවිධ වංචනික ක්‍රියා පිළිබද සිය අවදානය යොමු කර ඇත.  සංගමය සඳහන් කරන්නේ වර්තමානයේ බොහෝ රථ වාහන ගනුදෙනුකරුවන් ඔඩෝමීටර වංචාවන්, ව්‍යාජ අමතර කොටස්  සහ ව්‍යාජ මෝටර් රථ ලියකියවිලි වංචාවන්ගේ  ගොදුරක් බවට පත්ව ඇති බවයි.  තවද, නවතම වාහන සහ re-conditioned වාහන ආනයන සම්බන්ධයෙන් පවතින විවිධ තහනම්  හේතුවෙන්  භාවිතා කළ වාහනවල වෙළෙඳ පොළ අගය පෙර නොවූ විරු ලෙසින් ඉහළ ගොස් ඇත. මෙම සිදුවීම් හේතුවෙන් වාහන සම්බන්ධයෙන් වන වංචාවන්ගේ ක්‍රමික වැඩිවීමක් වර්තමානයේ දී හදුනා ගත හැකිය.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා මේ  පිළිබඳ  සිය අදහස් ප්‍රකාශ කර සිටියේ මෙසේ ය. “භාවිතා කළ වාහන වෙළෙඳ පොළේ සිදුවන වංචා පිළිබද සංගමයක් ලෙස අපි දැඩි අවදානයෙන් සිටිනවා.  කිලෝ මීටර 150,000ක් පමණ භාවිතා කර ඇති මෝටර් රථයක මීටරය, කිලෝ මීටර 40,000ක් පමණ අගයකට පෙරලා ඇති අවස්ථාවක් මෑතක දී අපට වාර්තා වුණා.  මෙසේ සිදුවන වංචාවන්ට අහිංසක ගැනුම්කරුවන්  දිගින් දිගටම හසුවීම ඛේදනීය තත්වයක්. සියලුම වාහන ගැනුම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා මෙවැනි ක්‍රියාකාරකම් ගැන දැනුවත් කරමින් ඔවුනට ආරක්ෂාව සැලසීමට සංගමයක් ලෙස අප  කැපවී සිටිනවා”.

ඔඩෝමීටර වංචාවන් වර්තමානයේ බහුලව සිදුවන්නකි. අඩු කිලෝමීටර ප්‍රමාණ‍යක් ඇති වාහනයක් මිල දී ගැනීමට පාරිභෝගිකයෙක් වඩාත් කැමැත්ත දක්වන අතර මේ හේතුවෙන් ඔඩෝමීටර වංචාව සිදු වේ. මෙවැනි වාහන මිල දී ගන්නා පාරිභෝගිකයන් තම වාහනයේ නිවැරදිම කිලෝ මීටර ප්‍රමාණය නොදන්නා නිසා කළ යුතු අලුත්වැඩියා කටයුතු නොකිරීමෙන් විවිධ ගැටලුවලට මුහුණ දෙයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින්  අමරසිංහ මහතා පවසා සිටියේ  ඇතැම් මෝටර් රථ අලෙවිකරුවන්, හානියට පත් මෝටර් රථ හෝ අඩුපාඩු සහිත මෝටර් රථ විවිධ වෙන්දේසිවලින්  මිලදී ගනිමින්, ඒවා  ව්‍යාජ හෝ  භාවිතා කළ වාහන  අමතර කොටස් යොදා වැඩි දියුණු කරන බවයි. 

තවද ඇතැම් වාහන අලෙවිකරුවන් විසින් සිදු කරන තවත් වංචනික ක්‍රියාවක් ලෙස  ව්‍යාජ  ලියාපදිංචි ලියකියවිලි සමඟ වාහන අලෙවි කරන අවස්ථා දැක්විය හැකිය.  සොරකම් කළ වාහන සහ Rent-A-Car සමාගම්වලින්  ව්‍යාජ ලියකියවිලි යටතේ කුලියට ගත් වාහන මෙහිදී බොහෝ සෙයින්  අලෙවි කරයි. මෙම තත්වය හමුවේ මෝටර් රථයේ  සැබෑ අයිතිකරුවා සහ මිල දී ගන්නා යන දෙපිරිසම අපහසුතාවයට පත් වේ. 

භාවිතා කළ වාහන වෙළෙඳ පොළ හා ඒ හා සම්බන්ධ වංචාවන් වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමේ දී, බලයලත් සමාගමකින් හෝ හොදින් දන්නා පුද්ගලයෙකුගෙන් / සමාගමකින් භාවිතා කළ වාහනයක් මිල දී ගැනීමේ  ඇති අවදානම අඩු කරයි.

“තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉහළ සේවයක් ලබා දීම සඳහා සෑම විටම කැප වී සිටින බලයලත් මෝටර් රථ ඒජන්තවරුන්ගෙන් පමණක් භාවිත කරන ලද වාහන මිලදී ගන්නා ලෙස CMTA ඉල්ලා සිටිනවා.  වර්තමානයේ දී, සියලුම බලයලත් මෝටර් රථ ඒජන්තවරුන් භාවිතා කරන ලද වාහන අලෙවි කිරීමේ නිරත වන අතර, එමගින් පාරිභෝගිකයින්ට තමන්ට සමීප ඒජන්තවරයෙකුගෙන් වාහනයක් තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා. තවද  බලයලත් ඒජන්තවරයෙකු හරහා වාහනය පරීක්ෂා කර,  සැබෑ අමතර කොටස් භාවිතයෙන් අවශ්‍ය නවීකරණ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙනවා. බලයලත් මෝටර් රථ ඒජන්තවරුන් සතුව  ඇති  නවීන තාක්ෂණය හා අනෙකුත්  සියලු පහසුකම් හේතුවෙන් වාහනයක්  මිලදී ගැනීමට ප්‍රථම  පුළුල් වාහන පරීක්ෂාවක් සිදු කිරීමේ හැකියාව ද හිමි වනවා” යනුවෙන්  අමරසිංහ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.   

හේතු සාධක රැසක් මත පිහිටමින්,  බලයලත් ඒජන්තවරයෙකුගෙන් පමණක් වාහනයක් මිල දී ගැනීම CMTA ඉහළින් නිර්දේශ කරයි. ඉන් පළමුවැන්න නම් විකිණීමට පෙර බලයලත් ඒජන්තවරයෙකු විසින් වාහනය සවිස්තරාත්මකව පරීක්ෂා කර, එහි සැබෑ තත්වය පිළිබද දැනුවත් කරමින්  පාරිභෝගිකයාට ආරක්ෂාව සලසනු ලැබීමයි. තම මෝටර් රථයේ ඉතිහාසය පිළිබද කිසිත් නොදන්නා පාරිභෝගිකයාට  විශාල සහනයක් ලබා දෙමින් , භාවිතා කළ වාහනවලට පවා වගකීමේ සහතිකයක් ලබා දීම බොහෝ ඒජන්තවරුන් විසින්  අඛණ්ඩව සිදු කරනු ලබයි.

අලෙවියෙන් පසු සේවා ලබා දෙන පුහුණු තාක්ෂණික ශිල්පීන් බලයලත් ඒජන්තවරු යටතේ වඩාත් හොද සේවාවක් සැපයීම වෙනුවෙන් හොදින් පුහුණුව ලබයි. ඔවුන් සෑම විටම නිෂ්පාදකයන්ගේ මාර්ගෝපදේශ අනුගමනය කරන අතර අලුත්වැඩියා කටයුතු සදහා සුවිශේෂී මෙවලම් හා උපකරණ භාවිතා කරයි. පාරිභෝගිකයාගේ යහපත වෙනුවෙන් ම කැප වී සිය සේවාවන් සම්පාදනය කිරීම සියලුම බලයලත් ඒජන්තවරුන්ට පොදු වූ සුවිශේෂී ලක්ෂණයකි. මෝටර් රථ නිෂ්පාදකයන් විසින් විශ්වසනීයත්වය හා හොදම සේවා ප්‍රමිතීන් සහතික කරමින්  ශ්‍රී ලංකාවේ තම බලයලත් ඒජන්තවරයාව  නිරන්තරයෙන්ම නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *