Sinhala

ඩීමෝ Life to Reef කොරල් රෝපණ හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර රූමස්සලදී සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ විසින් ක්‍රියාත්මක කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ Bonavista  කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි සිව්වන අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි.

රූමස්සලදී අවසන් වූ Life to Reef සිව්වන අදියරේ ව්‍යාපෘතිය සඳහා ඩීමෝ සමූහ ප්‍රධාන  විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා ඇතුළු සමාගමේ විවිධ අංශ නියෝජනය කරමින් ස්වෙච්චා සාමාජිකයින් 28 දෙනෙකු සහභාගී විය.  මෙම ස්වෙච්චා කණ්ඩායම විසින් කොරල් රෝපණය සහ පිරිසිදු කිරීමේ කටයුතු වලට  ක්‍රියාකාරීව සහභාගී විණි. කණ්ඩායම තුළ වූ ස්වෙච්චා කිමිදුම්කරුවන්  විසින් සිමෙන්ති ආධාරක  හා තවාන් රාක්කවල රෝපණය කෙරුණු කොරල් අංකුර, ගැඹුරු මුහුදට රැගෙන ගොස් සාගර පත්ලෙහි තැන්පත් කෙරිණි. ඊට පෙර රෝපණය කෙරුණු  කොරල්, සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් වර්ධනය වන ආකාරය හා ඒවා ජෛව පද්ධතිය හා අනුගත වෙමින් පවතින ආකාරය දැක ගැනීමටද ඔවුන්ට එහිදී හැකිව තිබුණි. මීට  අමතරව වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහනාදී  ක්‍රියාත්මක විණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසා සිටියි.  “මේ පාරිසරික ආරක්ෂණ හා ජෛව විවිධත්ව සුරක්ෂණ ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත්වනවා.  වගකිවයුතු ආයතනයක් වශයෙන් ඩීමෝ නිරන්තරයෙන් උත්සහ කරන්නේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමට සහ අනාගත පරපුර සඳහා ඒවා ආරක්ෂා කිරීමට හැකියාව ඇති ව්‍යාපෘති සඳහා අඛණ්ඩ  දායකත්වයන් ලබා දීමටයි.  තවද,  එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා දායකත්වය ලබා දෙමින්, ව්‍යාපාරික සීමාවන්ගෙන් බැහැරව ඩීමෝ වෙත පැවරී ඇති සාමූහික සාමාජික වගකීම ඉටු කිරීමට ඉදිරියේදීත් අප ක්‍රියා කරනවා.  සිව්වැනි අදියරේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඩීමෝ කණ්ඩායම තුළ වූ ඉහළ උද්යෝගය සහ ක්‍රියාකාරී සහභාගීත්වය මා අගය කර සිටිනවා.” 

වසර හතරක කාලයක් පුරාවට මෙම ව්‍යාපෘතිය හරහා 2500කට අධික කොරල් අංකුර ප්‍රමාණයක් රෝපණය කර ඇති අතරම, කෘතීම කොරල් පර 6ක් නිර්මාණය කර ඇත. Bonavista කොරල් පරයෙහි පෙර පැවති ජෛව විවිධත්වය යළි නිර්මාණය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින්  සිව් අවුරුදු කාලයක්  තුළ  කොරල්  2,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිෂ්ඨාපනය කර ඇත. මේ හරහා කොරල් පරයෙන් ආවරණය වූ ප්‍රදේශ ප්‍රමාණය දැන් අක්කර 3.5 ඉක්මවා ඇත. වර්තමානය වන විට මෙම ව්‍යාපෘතිය හරහා පවුල් අටකට අයත් කොරල් විශේෂ 30 ක් පමණ ප්‍රතිස්ථාපනය කර තිබීමද සුවිශේෂී වේ. තවද, අද වන විට මේ ආශ්‍රිතව දැකගත හැකි කොරල් විශේෂ සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමහර කොරල් විශේෂ සෙන්ටිමීටර 20 ක් පමණ උසට වැඩී, ශාඛා  30-35 ප්‍රමාණයක් දක්වා බෙදී තිබේ. 

 මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවන් වන Wildlife and Ocean Resource Conservation (WORC) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, 2017 සිට 2021 දක්වා කාලය තුළ මෙම සමුද්‍ර ප්‍රදේශයේ දක්නට ලැබෙන butterfly මත්ස්‍ය විශේෂ ප්‍රමාණය  4 සිට 13 දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2021 දී කොරල් පර තුළ කැස්බෑ විශේෂ 2 ක් හඳුනා ගෙන ඇති බවත් වාර්තා කෙරිණි. තවද, 2017 වසරේදී හඳුනා නොගත් Pomacanthidae  පවුලට අයත් Angelfish  විශේෂ ත්‍රිත්වයක්  දැන් කොරල් පර තුළ දැකගත හැකි අතරම, ව්‍යාපෘති  කටයුතු ආරම්භයේදී වූ කොරල් පර මසුන් 30 ක පමණ ප්‍රමාණය අද 160ක්  දක්වා වර්ධනය වී ඇත. 

මෙම ව්‍යාපෘතිය මගින් කොරල් පර යථා  තත්ත්වයට පත්වීම නිසා එම ප්‍රදේශය සංචාරක ගමනාන්තයක් බවට පත් ව ඇත. සංචාරකයන් ගේ පැමිණීම ඉහළ යාම සමග ආහාර වෙළෙඳසැල් ,කිමිඳුම් භාණ්ඩ කුලියට දීම්   වැනි ව්‍යාපාර සඳහා ප්‍රදේශයේ ජනතාව යොමු වීම නිසා මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ ජිවන තත්ත්ව නංවාලීම සදහා  දායක වී ඇත.තවද, කොරල්  සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසහටහන්ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වෙයි.මෙම ව්‍යාපෘතියට සමගාමීව ඩීමෝ ස්වෙච්චා කණ්ඩායම විසින් මෙම ප්‍රදේශ වාසීන්ගේ දරුවන් සඳහා පොත් බෙදාදීමක් ද සංවිධානය කර තිබුණි. 

ගෝලීයව කොරල් පර සාගරයෙන් 1% ක් පමණක් ආවරණය කරන අතර, මුහුදු සතුන්ගෙන් 25% ක් සඳහා ආරක්ෂිත ආවරණයක්  සපයයි. 1998 හා 2016 ඇති වූ El-Nino සංසිද්ධීන් නිසා, Bonavista කොරල් පරයෙහි සජීවී කොරල් ආවරණය වැනසී ගොස් තිබිණි.  Bonavista කොරල් පරයෙහි පෙර පැවති ජෛව විවිධත්වය යළි නිර්මාණය කිරීමේ අරමුණින් WORC සහයෝගය ඇතිව, කොරල් සංරක්ෂණය කිරීමේ හා යළි රෝපණය කිරීමේ ව්‍යාපෘතිය වන ‘Life to Reef’   2017 වසරේ ආරම්භ කර තිබේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *