Sinhala

ඩීමෝ “ලෝක තරුණ නිපුණතා දිනය” නිමිත්තෙන් රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය පිලිබඳ තරුණ තරුණියන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් තාරුණ්‍ය කුසලතා තුළින් සන්නද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳ මැනවින් අවබෝධ කර ගනිමින්, පසුගියදා පැවති “ලෝක තරුණ නිපුණතා දිනය” හා සමගාමීව වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.”රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය – තාරුණ්‍යයේ සිහින හා අපේක්‍ෂාවන් බලගැන්වීම ” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. ඩීමෝ ආයතනයේ තිරසාරභාවය පිළිබඳ න්‍යාය පත්‍රයේ වෘත්තීය පුහුණුව සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර, මෙම සම්මන්ත්‍රණය හරහා ප්‍රධාන වශයෙන්ම රැකියා වෙළඳ පොළ ජයගැනීම සඳහා දේශීය තරුණ තරුණියන් හට අවශ්‍ය කුසලතා සංවර්ධනය කරගත යුතු ආකාරය සහ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කරගත හැකි ආකාරයන් පිළිබඳ දැනුවත් කරන ලදී.

මෙම සම්මන්ත්‍රණය උදෙසා  ලංකා සේව්‍ය සම්මේලනයේ (EFC) අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී මංගල පි.බි.යාපා මහතා,  ඩීමෝ හි ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය,  ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමූහයේ මානව සම්පත් අධ්‍යක්ෂ චින්තක ප්‍රේමරත්න මහතා, බ්‍රැන්ඩික්ස් හි ප්‍රධාන සමූහ මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන මහතා සහභාගී වූ අතර සම්මන්ත්‍රණය මෙහෙයවන ලද්දේ   ඩීමෝ හි ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී යොහාන් තිලකරත්න මහතා විසිනි.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ මංගල පි.බි. යාපා මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියේය.  “දැනුම, කුසලතා සහ සේවා නියුක්තිය යන අංශයන් සෑම විටම එකිනෙක හා  සම්බන්ධිත වී ඇත.  වර්තමානයේ දැනුම, කුසලතා යන අංශය අබිභවමින් ගමන් කරඇති අතර, දැනුමෙන් සන්නද්ධ මානව සම්පත් වෙත රැකියා වෙළඳ පොළෙහි හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.  නමුත් මා විශ්වාස කරන අන්දමට, කුසලතා සංවර්ධනය නොවන ආකාරයේ දැනුමෙන් සමාජය වෙත පලක් නොමැත.  මෙම ගැටලුව සඳහා පිළියම් සපයමින් අප උත්සහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන හරහා මෙම දැනුම සහ කුසලතා යන දෙඅංශයම සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහියි.”

වර්තමාන තරුණ පරම්පරාව වෘත්තීය පුහුණුව හා සම්බන්ධ වී සිය රැකියා සිහිනයන් වෙත ළඟා වීමට දක්වන අකමැත්ත පිලිබඳ අදහස් දක්වමින් චින්තක ප්‍රේමරත්න මහතා මෙසේ පැවසීය.  “අද වන විට කොවිඩ්19 වසංගත තත්වය හමුවේ බොහෝ පිරිස් සිය රැකියා වලින් ඉවත් වීමේ මෙන්ම තවත් කොටසක් වයසත් සමග විශ්‍රාම යාමේ ප්‍රවණතාවයක් පවතී.  විවිධ උපාධි සඳහා වෙළඳ පොළෙහි දැඩි ඉල්ලුමක් පවතින අතර, බොහෝ අධ්‍යාපන ආයතන දැන් විවිධ ආකාරයේ උපාධි පාඨමාලා පවත්වනවා. මේවායෙන් රැකියා වෙළඳ පොළට ප්‍රවේශ වන උපාධිධාරීන් බොහෝ විට උත්සහ කරන්නේ කාර්යාලීය රැකියාවක් ලබා ගැනීමට. තාක්ෂණික දියුණුවක් සමග බොහෝ තරුණ තරුණියන් පහසුවෙන් කල හැකි රැකියාවන් ට පමණක් යොමු වේ.මෙවැනි කරණා නිසා තරුණ පරපුර වර්තමානයේ වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සඳහා  යොමු නොවේ.

වෘත්තීය පුහුණුව සඳහා කාන්තා සහභාගීත්වය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කරමින් දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ පැවසුවාය. “ජනගහනයෙන් සියයට 50 ඉක්මවූ ප්‍රතිශතයක් කාන්තාවන් වුවද, වර්තමානයේ ආර්ථික කාර්යයන් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ඉතා අවම මට්ටමක පවතී.  මේ සඳහා හේතුව කාන්තාවන් කුසලතා හෝ දැනුම තුළින් සන්නද්ධ නොවී තිබීම නොව, ඔවුන් රැකියා සඳහා යොමු නොවීමට වෙනත් භාහිර සමාජීය විශ්වාස හා හේතු පැවතීම ලෙස මා  දකිනවා. මට සමාජයට පැවසීමට තියෙන්නේ කිසිඳු රැකියාවක් අපහසුයි හෝ කාන්තාවන්ට කළ නොහැකියි කියා නැහැ.  අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය හා ඉලක්කයක් පමණයි. වෘත්තීය අධ්‍යාපනය හරහා ඔබට ඕනෑම අංශයක රැකියාවක් සඳහා ප්‍රවේශ වීමට හැකියාව හිමි වනවා.  විශේෂයෙන් කාර්මිකයන් සහ යන්ත්‍ර ක්‍රියාකරුවන් වැනි වෘත්තීන් සඳහා නිසි වෘත්තීය පුහුණුවක් ලැබූ කාන්තාවන් හට විශාල අවස්ථා හිමිවී තියෙනවා.”

ඉෂාන් දන්තනාරායන මහතා විසින් පවසා සිටියේ  “තාක්ෂණය වර්තමාන කාර්යාලීය සෑම ක්‍රියාවක්ම වෙනස් කර තියෙනවා.  විශේෂයෙන් කාලය සහ මුදල් ඉතිරි කර ගැනීම සඳහා පද්ධති සහ ක්‍රියාවලීන් වෙනස් කිරීම, නව නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීමේදී පිරිවැය අඩු කිරීම සහ නිෂ්පාදන වෙළඳපොලට හඳුන්වා දීම වේගවත් කිරීම වැනි විවිධ අභියෝගයන්ට මුහුණ දීම සඳහා තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගන්නවා. තාක්‍ෂණය අප වැඩ කරන ආකාරයන් ශීඝ්‍රයෙන් වෙනස් කරමින් සිටින මෙවන් කාලයක  එම තාක්‍ෂණයන්ට අනුවර්තනය වීමට නිසි නිපුණතා ඇති පුද්ගලයින් අපට අවශ්‍ය වන අතර වෘත්තීය පුහුණුව ලැබූ මානව සම්පත් මෙහිදී ඉතා වැදගත් වනවා.”

වෘත්තීය පුහුණුව සඳහා මෘදු කුසලතාවන්ගේ (soft skills) වැදගත්කම පිළිබඳවද මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී කතාබහ කරන ලදී. රැකියා වෙළඳ පොළ ජයගැනීම සඳහා පුද්ගලයන් හට විවෘත, විමසිලිමත් මනසක් තිබීමේ වැදගත්කම, ඉගෙනීමට ඇති කැමැත්ත, අලුත් දේ ඉගෙන ගැනීමට ඇති හැකියාව, ධනාත්මක ලෙස “කළ හැකි” යන ආකල්පයක් තිබීම, අධ්‍යාපනය අඛණ්ඩ ගමනක් බව අවබෝධ කර ගැනීම යන දෑ පිලිබඳවද මෙහිදී සාකච්චා කරන ලදී. වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකය තුළ වෘත්තීයමය අධ්‍යාපනය තෝරා ගැනීමේ වැදගත්කම සහ එමඟින් රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමට  ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලාංකික තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා ඩීමෝ ඉදිරියටත් කැපවෙමින් ක්‍රියා කරයි. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *