Sinhala

DIMO සහ Komatsu පනස් වසරක හවුල්කාරීත්වය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Komatsu හා ඇතිකරගත් හවුල්කාරීත්වය සඳහා වසර 50ක් සපිරෙන බව නිවේදනය කරයි. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණ වීමද මෙම වසරේදීම  සිදු වීමයි. 

දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට DIMO හි දායකත්වය වර්ධනය කිරීමට Komatsu විසින් හඳුන්වා දී ඇති විවිධ වූ යන්ත්‍ර සූත්‍ර මගින් මහඟු අත්වැලක් සපයනු ලබන අතර, එමඟින් රටෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන් උදෙසා ඉතා විශාල දායකත්වයක් ලබා දීමට DIMO සමත් වී ඇත. ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ සමඟ සිමෙන්ති සහ ඉදි කිරීම් වැනි දැවැන්ත දේශීය කර්මාන්ත සවි බල ගැන්වීමට සහ එවැනි කර්මාන්ත වල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට,මෙම හවුල්කාරිත්වය මනාව දායක වී ඇත. Hydraulic excavators, wheel loaders, bulldozers, motor graders, dump trucks, hybrid hydraulic excavators සහ articulated dump trucks DIMO විසින් ශ්‍රී ලංකාව තුල බෙදා හරින Komatsu සන්නාමයේ යන්ත්‍රෝපකරණ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. DIMO මෙවැනි Komatsu බර යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් මෙරට මහා පරිමාණ ජාතික ව්‍යාපෘති සදහා සපයා ඇත. කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සහ පෝට් සිටි එවන් ව්‍යාපෘතීන් කිහිපයකි. මීට අමතරව පෞද්ගලික අංශයේ මහා පරිමාණ සිමෙන්ති නිෂ්පාදකයින් මෙන්ම කුඩා පරිමාණයේ යන්ත්‍රෝපකරණ හිමිකරුවන් ද DIMO හි Komatsu පාරිභෝගිකයින් අතර වේ.

DIMO සහ Komatsu පසුගිය වසර 50 ක කාලය පුරාවට දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය  තුල විප්ලවයක් ඇති කරමින් මෙරට පළමු  hybrid excavator යන්ත්‍රය සහ දිවයිනේ විශාලතම බුල්ඩෝසරය වන Komatsu D375 බුල්ඩෝසරය හදුන්වා දෙන ලදී. එම බුල්ඩෝසරය ප්‍රථම වරට සපයනු  ලැබුවේ  Holcim ආයතනයටයි. පළමුවරට Siam City Cement Lanka Ltd (SCCL) වෙත ලබා දුන් විශාලතම Komatsu Dump Truck රථය වන Komatsu HD465-7R රථය (Pay Load-55 MT) මෙරටට හඳුන්වා දීම සඳහාද DIMO සහ Komatsu හවුල මුල් විය. දකුණු ආසියානු කලාපය තුල hybrid තාක්ෂණය බහුලව භාවිතා නොවුනත් hybrid excavator සඳහා අලවියෙන් පසු අති විශිෂ්ට සේවාවක් ලබා දීමේ DIMO හි හැකියාව නිසාවෙන්ම Komatsu විසින් මෙම hybrid excavator යන්ත්‍රය  ශ්‍රී ලංකාව තුල බෙදා හැරීමට අවස්ථාව උදා කර දීමත් සමග ශ්‍රී ලංකාවේ ඒකක 60කට වඩා ප්‍රමාණයක්  බෙදා හැරීමට DIMO හට හැකියාව ලැබිණි.

DIMO සහ Komatsu හවුල්කාරිත්වයට වසර 50ක් සපිරෙන මෙම මොහොතේ සිය අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයකු වන Komatsu සමඟ වසර 50ක ශක්තිමත් හවුල්කාරිත්වයක් සැමරීම අපට ඉමහත් ආඩම්බරයකි. මෙම දිගු ගමන් මග පුරාවටම දේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහි ලා විශාල දායකත්වයක් සැපයීමට අපට හැකි වුනා. ශ්‍රී ලාංකේය  බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ විප්ලවීය ආනාගතයක් සඳහා Komatsu සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.”

Komatsu හි සියවස් සැමරීම පිළිබඳ අදහස් දක්වමින්  Komatsu Ltd. හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී හිරෝයකී ඔගාවා මහතා මෙසේ පැවසීය. “අප සියවසක් සමරන මේ මොහොතේ අප පාරිභෝගිකයින්, සැපයුම්කරුවන්, ව්‍යාපාර හවුල්කරුවන් වැනි සියලුම පාර්ශවකරුවන්ගෙන් ලත් ඉමහත් සහයෝගය සඳහා මම ස්තුති කරන්නට කැමතියි. ඉදිරියටත් තිරසාර අනාගතයක් උදෙසා නව නිපැයුම් සහ නවීන තාක්ෂණය තුලින් වටිනාකමක් එකතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

DIMO හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ ව්‍යාපාරය දිනෙන් දින ඉදිරියටම ගෙන යාමට DIMO සහ Komatsu හි හවුල්කාරිත්වයේ 50 වසරක සැමරුම අපට සුවිශේෂී සංධිස්ථානයක්. තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඒ සඳහා නව මාදිලි වෙළඳපොළට හඳුන්වා දීමට Komatsu නිරන්තරයෙන් කටයුතු කරනවා. ඔවුන් විසින් නවෝත්පාදනය, නවීන තාක්ෂණය සහ අලෙවියෙන් පසු සේවාවන් පිලිබඳ පවත්වන ලබන  වැඩමුළු මෙන්ම  Komatsu වගකීම් සහතිකය සහ  නියම අමතර කොටස් නිරතුරුවම අප ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ඉවහල් වෙනවා. පසුගිය 50 වසර මෙන්ම ඉදිරි අනාගතයේදීත් නවීන යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. මේ අනුව Komatsu PC210-10 නවතම යන්ත්‍රෝපකරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නුදුරු අනාගතයේ අපට හැකි වනු ඇත. එමඟින් ඉහල ඵලදායිතාවක්, අවම ඉන්ධන පරිභෝජනයක් සහ අවම නඩත්තු පිරිවැයක් සලසනු ලබන අතර ඉහල කල්පැවැත්මක්, සුරක්ෂිතබව සහ සුවපහසුව ද සහතික වේ.

DIMO හි විශිෂ්ට අලවියෙන් පසු සේවාව මෙරට තුළ   Komatsu හි ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් විය. DIMO හි අලවියෙන් පසු සේවාව, අමතර කොටස්, පාරිභෝගික සහය, නඩත්තු කිරීම, කාර්මික හා ක්‍රියාකරු පුහුණුව සහ අලුත්වැඩියා කිරීම යන සියලුම අංශයන් ගැන විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. ඊට අමතරව තම පාරිභෝගිකයින් හමුවී ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීමේ සේවාවද DIMO හි සේවා උපදේශකයින් කණ්ඩායම විසින් නොමිලේම ලබා දෙනු ඇත. Komatsu යන්ත්‍රෝපකරණ භාවිතයේදී පාරිභෝගිකයින් හට මුහුණ දීමට සිදුවන ඕනෑම ගැටළුවකදී සහය වීම සඳහා ජංගම වැඩපොළ කිහිපයක් ද දියත් කර ඇත. DIMO විසින් ඉහල පාරිභෝගික තෘප්තියක් ලබා දීම සදහා Curtis Analyzer වැනි විශේෂ දෝෂ හඳුනා ගැනීමේ මෙවලම් සහ පද්ධති මෘදුකාංග ඇතුලත් diagnostic box මෙන්ම හයිඩ්රොලික් සිලින්ඩර අලුත්වැඩියා කිරීමේ පහසුකම ද යොදා ගනු ලබයි. මෙරට Komatsu හි මෙහෙයුම් ශක්තිමත් කිරීමෙහි ලා අමතර කොටස් සැපයීම සුවිශේෂී   සාධකයක් වන අතර Komatsu හි අමතර කොටස් සඳහා අවසර ලත් නියෝජිත DIMO විසින් එම පහසුකම දිවයින පුරා පාරිභෝගිකයින් හට ලබා දීමට සමත් වී ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *