Sinhala

නව තාක්ෂණ ව්‍යවසායකයන්ට SPARX Labs නමින් පහසුකම් මධ්‍යස්ථානයක්

මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින්  නව මධ්‍යස්ථානයක්  ස්ථාපිත කෙරේ. කොළඹ  කොල්ලුපිටියේ ආර්  ඒ දී  මැල්  මාවතේ 490 ස්ථානයේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින්   තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය, මඟ පෙන්වීම හා පහසුකම්  සැපයීම  සිදු කරනු ලබයි. මීට අමතරව “ස්පාක්ස් ලැබ්“ වෙත පැමිණෙන ව්‍යවසයකයින් හට සම අදහස් ඇති ව්‍යවසායකයින් මෙන් ම ශ්‍රී ලාංකීය නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතිය හා කටයුතු කරන සියලු ආයතන හා සමීපව කටයුතු කිරීමේ හැකියාව හිමි වනු ද  ඇත. 

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට ලක් වූ රටක් බවට පත් කිරීමේ දැක්ම පෙරදැරි කරගෙන, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය බලාත්මක කිරීම උදෙසා වූ ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) වර්තමානය වන විට කටයුතු කරයි.  ඩිජිටල් ආර්ථිකමය උපාය මාර්ගික සැලසුම් හා සමපාත වෙමින්, ශ්‍රී ලාංකේය නව්‍ය ව්‍යාපාර වර්ධනයට හා පෝෂණය කිරීම උදෙසා එමඟින්  මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. SPARX Lab වෙත පැමිණෙන ව්‍යවසායකයන් හට නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතිය තුළින් ලැබෙන අනුබලය අති මහත්ය. සෑම සතියේ දිනකම උදැසන හතේ සිට රාත්‍රී හත දක්වා SPARX Lab විවෘතව පවතින අතර  Video Conferencing පහසුකම්, Dialog සහ SLTMobitel විසින් සපයනු ලබන අධිවේගී අන්තර්ජාල පහසුකම් ඇතුළු සේවාවන් රැසක් එහිදී ව්‍යවසායකයන් හට හිමිවේ. ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාව මත සිය නව්‍ය ව්‍යාපාර කටයුතු සැලසුම් කර ගැනීමට මෙහිදී සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට දෛනිකව හෝ අඛණ්ඩව සති දෙකක කාලයක් පුරාවට කුටියක් වෙන් කර ගැනීමේ හැකියාව හිමිවේ. තම ව්‍යාපාරයට නව සේවකයන් බඳවා ගැනීම සඳහා වෙන් වූ පරිශ්‍රයක් තුළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම ද මෙහි දී ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා [email protected] විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ විය හැක.

“ස්පාක්ස් ලැබ්“ SPARX Lab සමාරම්භක උළෙල පසුගිය දා (02) ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මෙම අවස්ථාවට තාක්ෂණ  අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිත ආයතනයයේ (ICTA)  සභාපති හා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු මහින්ද බී. හේරත්, (ICTA) ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිළධාරී, අනුර ද සිල්වා (ICTA) සහ ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ක්ෂේත්‍රය නියෝජනය කරමින් “හැච් වර්ක්ස්” (Hatch Works) නිර්මාතෘ ජීවන් ඥානම්  යන මහත්වරු සහභාගී වුහ .

2010 වසරේ සිට, ICTA විසින් නව්‍ය ව්‍යාපාර පද්ධතිය පිළිබඳ දැනුවත් කිරීම, ව්‍යවසායකත්ව නිපුණතා වර්ධනය, නව ව්‍යාපාර පෝෂණය, වෙළෙඳ පොළ ප්‍රවේශය, මූලික මූල්‍ය සැපයුම, උපදේශනය හා පහසුකම්  සැපයීම වැනි කාර්යයන් මඟින් නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතියට සිය අනුග්‍රහය දක්වා ඇත. මීට අමතරව, “10,000 Ideas“ , “STEP Pre-Incubator“ “StartupSL“ හා ප්‍රාදේශීය නව්‍ය ව්‍යාපාර මධ්‍යස්ථාන වැනි ව්‍යාපෘතීන් හරහා ද නව ව්‍යාපාර සංවර්ධන ක්‍රියාවලිය උදෙසා ද ICTA දායක වී ඇත.

සමාරම්භක උළෙලට සහභාගී වූ තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් . “ශ්‍රී ලංකාවේ  වර්තමානයේ  පවතින තත්ත්වය සලකා බලන විට, නව්‍ය ව්‍යාපාර ආරම්භය සඳහා  ඇත්තේ ඉතා අසීරු වටපිටාවක්. ඒ අනුව තාක්ෂණික අමාත්‍යාංශය, ICTA හා එක්ව තාක්ෂණයෙන් පිරිපුන් වටපිටාවක් නිර්මාණය කිරීම හරහා නව්‍ය ව්‍යාපාරවල වර්ධනය උදෙසා කටයුතු කරනු ලබනවා.” 

සමාරම්භක උළෙල අමතමින් ICTA සභාපති හා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ සභාපති ඕෂධ සේනානායක මහතා . “මෙය ICTA ආයතනයට ඉතා වැදගත් අවස්ථාවක්. මෙහි වැදගත්ම දේ වන්නේ මෙමඟින් මීළඟ පරම්පරාවේ තාක්ෂණික ව්‍යවසායකයන් හා නව්‍ය ව්‍යාපාර බලගැන්වීමේ අවස්ථාව හිමි වීමයි. ඒ අනුව ශ්‍රී ලාංකීය නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතිය බලාත්මක කිරීම උදෙසා ICTA හි කාර්යභාරය ඉතා වැදගත්” ප්‍රධාන වශයෙන් ම ICTA, නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතිය හා රජයේ සහය ද ඇතිව නැගී එන ව්‍යවසායකයින් සහ ආරම්භක අවධියේ නව්‍ය ව්‍යාපාර වලට එක්ව වැඩ කිරීමේ හා හැඩගැන්වීමෙහි ලා මධ්‍ය ලක්ෂ්‍යක් සේ SPARX Labs කටයුතු කරයි. තවද ව්‍යවසායකත්වය පිළිබද විශ්ව විද්‍යාලයීය ප්‍රතිපත්තිමය රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ ප්‍රාදේශීය නව්‍ය ව්‍යාපාර මධ්‍යස්ථාන සහ විශ්ව විද්‍යාලයීය Incubator ජාලයන්වල කේන්ද්‍රීය මධ්‍යස්ථානය බවට SPARX Lab පත් වනු ඇත. අවසාන වශයෙන් පොදු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ICTA හා එක්ව කටයුතු කිරීමට මුඛ්‍ය නියෝජිතයන් හට අවස්ථාව හිමිවේ. 

“නව්‍ය ව්‍යාපාර පෝෂණය කිරීම දිගු කාලයක සිට ICTA විසින් සිදු කරනවා, ඒ සඳහා කැප වුණු තරුණ එහෙත් අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් එහි සිටිනවා. ICTA විසින් මෙහි නිර්මාණය කර ඇති සියලු පහසුකම් නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධතිය වෙනුවෙන් මහඟු දායාදයක්” යනුවෙන් ICTA හි ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු මහින්ද බි. හේරත් මහතා පවසා සිටියා.

“ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා නව ව්‍යාපාර පරිසර පද්ධතිය හා එක්ව ඉතා වැදගත් කාර්යභාරයක් ICTA විසින් සිදු කරනු ලබනවා .”  Global Startup Awards 2021 හිදී The Best Co-working Space ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ Hatch Works හි නිර්මාතෘ ජීවන්  ඥානම් මහතා  ප්‍රකාශ කරනු ලැබුවා. ආචාර්ය ප්‍රසාද් සමරසිංහ – කළමණාකර අධ්‍යක්ෂක, සීමාසහිත ලංකාබෙල් සමාගම, සභාපති, FITIS , ශමිලන් සෝමසුන්දරම් – නිර්මාතෘ, Niftron,  ජීවන් ඥානම් – නිර්මාතෘ, Hatch Works, ජයන්ත ද සිල්වා – ලේකම්, තාක්ෂණ අමාත්‍යංශය, ඕෂධ සේනානයක – සභාපති, ICTA, අධ්‍යක්ෂක ජෙනරල්, TRCSL, ඉංජිනේරු මහින්ද බි. හේරත් –  ප්‍රධාන විධායක නිලධාරි, ICTA, අනුර ද අල්විස් – ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී, ICTA, නෙවින්දරී ප්‍රේමරත්න – ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ලක්මිනි විජේසුන්දර, සම-නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී, IronOne Technologies & BoardPAC  යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වුහ.

ICTA පිළිබඳව 

ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වූ දේශයක් කිරීමේ දැක්ම පෙරදැරි කරගෙන අප රට තුළ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) පෙරමුණ ගෙන කටයුතු කරයි. ඩිජිටල් තාක්ෂණයෙන් සවිමත් ශ්‍රී ලාංකීය පුරවැසියන් බිහිකිරීමට සඵලදායී ඩිජිටල් පහසුකම් සපයමින් ICTA විසින් මහත් පරිශ්‍රමයක් දරමින් සිටි. වැඩි විස්තර සඳහා www.icta.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Photo Captions:

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ – කළමණාකර අධ්‍යක්ෂක, සීමාසහිත ලංකාබෙල් සමාගම, සභාපති, FITIS , ශමිලන් සෝමසුන්දරම් – නිර්මාතෘ, Niftron, ඉංජිනේරු මහින්ද බි. හේරත් –  ප්‍රධාන විධායක නිලධාරි, ICTA, ජීවන් ඥානම් – නිර්මාතෘ, Hatch Works, ජයන්ත ද සිල්වා – ලේකම්, තාක්ෂණ අමාත්‍යංශය, ඕෂධ සේනානයක – සභාපති, ICTA, අධ්‍යක්ෂක ජෙනරල්, TRCSL,  අනුර ද අල්විස් – ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී, ICTA, නෙවින්දරී ප්‍රේමරත්න – ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ලක්මිනි විජේසුන්දර, සම-නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී, IronOne Technologies & BoardPAC

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *