Sinhala

Huawei ශ්‍රී ලංකා විසින්  ‘Asia Pacific Seeds for the Future 2022’ දියත් කරයි

විශේෂ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා තායිලන්තයට

Huawei සහ අධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කරමින් නිල උත්සවයක් පසුගියදා පැවැත්විණි.  මෙහි නිල දියත් කිරීමේ උත්සව පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්වුණු අතර, මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයේ මෙරට නියෝජිත හිමාලි ජිනදාස මහමත්මිය, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා, Huawei නියෝජිතයින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය. 

Huawei Asia-Pacific Seeds for the Future 2022 වැඩසටහන හරහා සුවිශේෂී දක්ෂතා දක්වන විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සඳහා තායිලන්තයේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වීම සුවිශේෂී වේ. 

Huawei හි ගෝලීය ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කරන ප්‍රමුඛ වැඩසටහන් මාලාවක් වන Seeds for the Future, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් ගෝලීය වැඩසටහනකි.  මේ හරහා සිසුන්ට සිය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කර ගැනීමට විවිධ අවස්ථා රැසක් සපයනු ඇත. තවද මෙම මුලපිරීම කලාපීය සහයෝගීතාවයන් ගොඩනැගීම සහ රටවල් සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය කිරීම දිරිමත් කරයි.

2022 වර්ෂයේදී Huawei විසින් ASEAN පදනම හා එක්ව Huawei Asia-Pacific Seeds for the Future 2022 සමාජ සත්කාර ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ කුසලතා සංවර්ධනය සවිබල ගැන්වීම උදෙසාය.  මෙමඟින් තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක  උපාධි අපේක්ෂකයින් දින 8ක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුවක් සඳහා බැංකොක් බලා පිටත් වනු ඇත. මෙම පුහුණුවේ පළමු අදියර අගෝස්තු මස 19 සිට 28 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, ජයග්‍රාහකයින් සඳහා වන එහි දෙවන අදියර අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා සිංගප්පුරුවේදී ක්‍රියාත්මක වනු ඇත.

මෙම නිල උත්සවයට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් මෙලෙස පවසා සිටියි. ” කුසලතා සංවර්ධනය යනු ශ්‍රී ලංකාව වැනි රටවල් වැඩි අවධානයක් යොමුකළ යුතු අංශයක් ලෙස මම දකිනවා. විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ කුසලතා පරතරය අවම කිරීමට දැනුමෙන් පිරිපුන් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වෙනවා.  Huawei ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංවර්ධනය මෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාකාරීව සහභාගී වෙමින් රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව මම ඇත්තෙන්ම සතුටු වෙනවා. Huawei විසින් “Seeds for the Future” වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුලින්, කලාපීය වශයෙන් සහයෝගීතාවන් වැඩිදියුණු  වන අතරමශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට අත්‍යවශ්‍ය කුසලතා සංවර්ධනයට විශාල අවස්ථාවක් හිමි වෙනවා. ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීමට මෙය ඔවුන්ට හිමිවන කදිම අවස්ථාවක් ලෙස මම හඳුන්වන්න කැමතියි.”

මෙහිදී අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Tao Guangyao මෙලෙස පවසා සිටියි. “රටේ ඩිජිටල්කරණය සහ ආර්ථික සමෘද්ධිය සඳහා බලපාන ප්‍රධාන අංගයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හඳුන්වන්න පුළුවන්. Huawei විසින් සෑම විටම විශ්වාස කරනුයේ, රටේ දක්ෂ තරුණ තරුණියන්ට නවතම තාක්ෂණයන් හඳුන්වා දීම, නව දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උත්සාහයට සහාය වීම, රටේ තාක්ෂණික දියුණුවට විශාල වශයෙන් බලපාන බව.  Seeds for the Future  වැඩසටහනේ අපගේ දැක්ම වන්නේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා දක්ෂ සිසුන් හට ශක්තියක් වීම යන්න.   ඒ නිසා අද මෙහි පැමිණ සිටින ඔබ වැනි දක්ෂ ශිෂ්‍යයින්ට ලබා දී ඇති අවස්ථාව තුළින්, අනාගත ලෝකය ආලෝකමත් කළ හැකි යැයි මම විශ්වාස කරනවා. රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නිපුණතා සංවර්ධනය පුළුල් කිරීම සඳහා Huawei වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව මම ශ්‍රී ලංකා රජයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට ස්තූතිය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නවා.”

Seeds for the Future වැඩසටහන 2008 වර්ෂයේදී ගෝලීයව දියත් කරන ලදී. මෙය 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කරන ලද අතර, මේ හරහා සෑම වසරකම විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකු සඳහා චීනය වෙත ගොස් තාක්ෂණික සහ සංස්කෘතික පුහුණු සැසියක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවිය.  කොවිඩ් වසංගත තත්වය පැවති කාලසීමාව තුළ මෙම වැඩසටහන ඔන්ලයින් ආකාරයට පැවැත්වුණු අතර, මෙය ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන හත්වැනි අවස්ථාවයි. මෙම කාලය පුරාවට මෙම වැඩසටහන හරහා දේශීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනෙකු ප්‍රතිලාභ ලබා ඇත.  

Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්‍රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්‍රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *