Sinhala

Huawei Technologies Lanka  සමාගම 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50 අතරට තේරී පත් වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම ‘ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)’  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, ‘ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50’ නම් කෙරෙන ගෞරවණීය ආයතන ලැයිස්තුවේ ලැයිස්තුගත වීමට ද සමත් විය. ඊට අමතරව Huawei සමාගම ‘2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 15’ අතරට එක් වීම වෙනුවෙන් මෙන් ම, ‘නවෝත්පාදන දිරිගැන්වීමේ විශිෂ්ටත්වය’ සඳහා ද සම්මාන  දිනා ගැනීමට සමත් විය.  මෙම සුවිශේෂී ජයග්‍රහණ හතර සැමරීම වෙනුවෙන් උත්සවයක් පසුගිය දා කොළඹ Huawei ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

ඩිජිටල්කරණය, බුද්ධි පරිවර්තනය හා  කාබන් විමෝචනය අවම කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන අතරතුර, ඉහළ විශ්වාසය, අඛණ්ඩතාව, වර්ධනය සහ සේවක සේවිකාවන්ගේ සුරක්ෂිතභාවය යන ගුණාංගයන් පෝෂණය කෙරෙන ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීම කෙරෙහි ස්ථිරසාර ලෙස අවධානය යොමු කරන Huawei සමාගම මෙම ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූයේ ‘Great Place to Work Sri Lanka’ සමීක්ෂණ ආයතනය විසින් ආයතනවල සේවකයින්ගේ අදහස් ඇතුළුව සිදු කරන ලද ස්වාධීන  සමීක්ෂණයකට අනුව වීම විශේෂිතය.

Huawei Technologies Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටාවෝ ගුවාන්ග්‍යාවෝ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ, “සේවා යෝජකයෙකු විදියට වසර ගණනාවක් පුරා අපගේ සේවක සේවිකාවන්ගේ විශ්වාසය දිනා ගනිමින්, ඔවුන්ගේ හොඳ ම තේරීම බවට පත්වීමට ලැබීම ඇත්තවශයෙන් ම ආඩම්බරයක්. Huawei සමාගමේ තාක්ෂණික දියුණුව වගේ ම සමාගම තුළ පවතින අද්විතීය ආයතනික සංස්කෘතිය හා පරිසරය මෙම ජයග්‍රහණවලට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තිබෙනවා. Huawei Technologies Lanka සමාගම තම සේවක සේවිකාවන් වෙනුවෙන් යහපත් ආයතනික පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙනවා. ඒ වගේ ම Huawei සමාගම සිය සේවක සේවිකාවන් වටිනා ම සම්පත ලෙස සලකන නිසා ම, ඔවුන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය කිරීම, වෘත්තීයමය ක්‍රියාකාරකම් දිරිගැන්වීම, දක්ෂතා වැඩිදියුණු  කිරීම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙනුත් දැඩි අවධානයක් යොමු කරනවා. අපගේ සියලු ම සේවක සේවිකාවන් ආයතනයට පක්ෂපාතීව, කැපවීමෙන් කටයුතු කරන නිසා ඒ වෙනුවෙන් ඔවුන් සියලු ම දෙනාට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙනි.

Huawei සමාගමේ පාරිභෝගික කේන්ද්‍රීය සේවාව, කැපවීම, නොපසුබට උත්සාහය සහ විවිධ තත්ත්වයන්ට අනුවර්තනය වීම එම සමාගමේ විශිෂ්ටත්වය කෙරෙහි ඍජුව ම බලපා ඇත.  මෙම මූලික වටිනාකම් මත පදනම්ව, Huawei Sri Lanka සමාගම විසින් සිය සමස්ත ක්‍රියාවලිය  ශ්‍රී ලංකාවට සරිලන අයුරින්  මූලික කරුණු 4 ක් ඔස්සේ ගොඩනංවා ඇත. සරල බව, දැඩි අවධානය, විවෘතභාවය සහ වගකීම එම මූලික වටිනාකම් හතරයි. Huawei සමාගම මෙරට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සහ පරිවර්තනයට ප්‍රධාන වශයෙන් දායකත්වයක් දක්වමින්,  ප්‍රශංසනීය හා අසමසම සේවාවක් ලබා දෙයි.

Huawei Technologies Lanka සමාගම සිය සේවකයින් මනා ව රැකබලාගනිමින් ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සනාථ කරමින් මෙවරත් සේවය කිරීමට සුදුසු ම සමාගමක් ලෙස ඇගයිණි. ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාවලිය, අඛණ්ඩ නවෝත්පාදන ක්‍රියාවලිය සහ විශිෂ්ට සහයෝගීතාව යනා දී ගුණාංග වෙනුවෙන් කැපවන  Huawei සමාගම දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂී සේවාවක් ස්ථාපිත කර ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *