Sinhala

ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට ව්‍යාපාරික නායකයින් සම්බන්ධ කර ගන්නා ලෙස තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය වෙතින් රජයට ඇරයුමක්.

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම  2023 මාර්තු 10 වැනි දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්. ඊ. ජූලි චන්ග් සහභාගී වූ අතර තවද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු. මෛත්‍රීපාල සිරිසේන; ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා; කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්; ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන්; රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ බලයලත් සමාගම් කිහිපයක සභාපතිවරුන් සහ පාලන කොටස් හිමියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් 116 කට අධික සංඛ්‍යාවකින් COYLE සමන්විත වේ. එහි සාමාජික සංවිධාන 500කට අධික සංඛ්‍යාවක් ඇති අතර රට තුළ පවතින  ව්‍යාපාර 50කට ආසන්න සංඛ්‍යාවකට අනුබද්ධ වේ. තරුණ ව්‍යවසායකයින් විසින් COYLE  හි කළමනාකරණ සහ පාලන කටයුතු මෙහෙයවන අතර COYLE  අද පවතින තත්වයට පැමිණීමට එහි ආරම්භක වසර තුළ සංවිධානයට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ සහ ගෞරවනීය ව්‍යාපාරික නායකයින් සුවිශේෂී හේතුවක් ලෙස දැක්විය හැකිය. COYLE විසින් ව්‍යවසායකත්වය, ග්‍රාමීය ප්‍රජාවන්ගේ සංවර්ධනය සහ චින්තන නායකත්වය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනු ලබන අතර සිය සාමාජික සමාගම් සමඟ එක්ව ආයතනික සමාජ සත්කාර වැඩසටහන් සැලකිවයුතු ප්‍රමාණයක් මෙහෙයවා ඇත. COYLE සිය සාමාජිකයින්ට සහ පාර්ශවකරුවන්ට නායකත්වය, දැනුම සහ සංවර්ධනය සපයන අතර, වසර ගණනාවක් පුරා සිය දේශීය හා ගෝලීය ජාල හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනය උදෙසා සුවිශේෂී සේවයක් සපයනු ලබයි.

පසුගිය වසර ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ට තීරණාත්මක වසරක් වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් COYLE හි හිටපු සභාපති දිමුත් චංකම සිල්වා මහතා මෙසේ පැවසීය. “පසුගිය වසර අපට ලොකු පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදු වූ වසරක්. මෙම වසර ඒ සියලුම බාධක හමුවේ නැගිටින අයුරු අපට ඉගැන්වූ වසරක්. මම හිතනවා අපි බාධක හමුවේ නොනැවතී ඉදිරියටම පැමිණියා කියලා. අපගේ ව්‍යාපාර වර්ධනය වෙමින් පවතින අතරම අපි ජාත්‍යන්තර වෙළඳපල ජයගනිමින් සිටිනවා.”

2023/24 වසර සඳහා COYLE හි තේමාව වන EVOLUTION: #Resilience, #Agility, සහ #transformation පිළිබඳව කැපී පෙනෙන අවධාරණයක් ලබා දෙමින් සභාපති රසිත් වික්‍රමසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “Evolution යන්නෙන් හැකියාවන් ඉහළ නැංවීම, කුසලතා වැඩි දියුණු කිරීම, නිර්මාණශීලිත්වය වැඩි කිරීම, අවුල් සහගත අවස්ථාවක නව්‍යකරණයට යොමුවීම සහ නව ව්‍යාපාරික පරිසරයක් පිළිබඳව නැවත සිතීම අපි අදහස් කරනවා. EVOLUTION සඳහා වෙනසක් අවශ්‍ය වෙනවා. එම වෙනස මනෝභාවයන්හි, ආකල්ප වල, ස්වයං දැනුවත්භාවය තුළ, අවට පරිසරයේ සහ සංස්කෘතිය තුළද සිදුවිය යුතුය.”

වර්තමාන පරිසරය තුළ සෑම වසර පහකටම වරක් පරම්පරා අතර පරතරයක් ඇති වන බව ඔහු තවදුරටත් සඳහන් කළ අතර අනාගතයට අදාළ ලෙස හැඩගැසීමට  COYLE පරිණාමය වීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. උපදේශනාත්මක තීරණ ගැනීම වෙනුවට කිහිප දෙනෙකුගේ අනුග්‍රහය මත පදනම්ව දේශපාලනික වශයෙන් මෙහෙයවන ප්‍රතිපත්ති වත්මන් අර්බුදයට හේතු වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “ප්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ යහපත් ආර්ථික මූලධර්ම සහ ව්‍යාපාරික ඥානය මතයි. ව්‍යාපාර, ස්ථාවර ප්‍රතිපත්ති මත රඳා පවතින අතර එමඟින් ඔවුන්ට ඉදිරිය  සැලසුම් කළ හැකියි. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොලබන තාවකාලික ප්‍රතිපත්ති නිසා පුද්ගලික අංශයේ පාඩු සිදුවී රටෙන් විදේශ විනිමය අපතේ යාමක් සිදුවෙනවා.”

රටේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව කටයුතු කරන පිරිසට දඩුවම් ලැබෙන අතර බදු ගෙවීමෙන් වැළකී සදාචාර විරෝධී ක්‍රියාවන්හි යෙදෙන්නන් නිදැල්ලේ සිටින බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වඩාත් අව්‍යාජ සංවාදයක් COYLE බලාපොරොත්තු වන අතර සංවිධානයේ සිටින ගෝලීය වශයෙන් පළපුරුදු සාමාජිකයින් ආර්ථිකය නගාසිටු වීමට  ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට විශාල වටිනාකමක් එකතු කළ හැකි බව ද ඔවුන් අවධාරණය කර සිටියි. රටට යහපතක් කිරීමට දැඩි උනන්දුවක් දක්වන සහ එම අරමුණ සමඟ අවංකව පෙළගැසී සිටින සාමාජිකයින්ගෙන් සමන්විත වීම COYLE අනෙක් සංවිධානයන්ගෙන් වෙනස් වීමට සුවිශේෂී හේතුවකි.

COYLE සිය  24 වන සංවත්සර සැමරුමේදී  පාස්කු බෝම්බ ප්‍රහාර, වසංගතය සහ ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් පසුව රටෙහි තත්වය පිළිබඳව ඔවුන්ගේ මතය ගැඹුරින් ඉදිරිපත් කරන ලදී. පැවති අසීරු තත්වයේදී වුවද සිය ව්‍යාපාර පරිවර්තනය කරමින් සාර්ථක ලෙස මුහුණ දුන් සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් මෙම උත්සවයේදී ගෞරවයට පාත්‍ර විය. COYLE සාමාජික සංවිධාන විසින් සිදු කරන ලද ආයතනික සමාජ සත්කාර වැඩසටහන් රැසක් ද මෙහිදී අවධාරණය කරන ලදී. මෙම මුල පිරීම් පසුගිය වසරවල වඩාත් පීඩාවට පත් වූ ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කරමින් ජාති, ආගම්  නොතකා සිදු කරන ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ගනු තීරණ දැඩි නමුත් පවතින තත්ත්වය සලකා බැලීමේදී අත්‍යවශ්‍ය ඒවා බව COYLE විශ්වාස කරයි. මෙම තීරණවල ප්‍රතිඵලයක් ලෙස ක්‍රමානුකූලව යහපත් වෙනසක් ආර්ථිකයේ දක්නට ලැබෙන බව ද COYLE විසින් සඳහන් කරන ලදී. COYLE සතු සාමූහික අත්දැකීම්, විශේෂඥතාව සහ සම්බන්ධතා සැලකිල්ලට ගැනීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සැලකිය යුතු වටිනාකමක් සහ අවබෝධයක් ලබා දීමේ හැකියාව ඔවුන් සතුව පවතී. එබැවින් ආර්ථික පුනර්ජීවනය කඩිනම් කිරීම සඳහා ඔවුන් සමඟ එක්ව ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කරන ලෙස COYLE රජයෙන් ඉල්ලා සිටී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *