Sinhala

පොත් කවර දැමීමේ අභියෝගයට පහසු නව විසඳුමක් සමඟ Printcare Agile විසින් ‘ Book Wonders’ එළිදක්වයි

කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම  වෙනුවෙන්  පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින්  හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය  සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඒ සඳහා පහසු සහ වඩාත් කාර්යක්ෂම නව්‍ය වෙනසක් පිරිනමයි.

සාමාන්‍යයෙන් පාසල් පොත් සඳහා කවර දැමීමේදී කඩදාසි කොළ  මිලදී ගැනීමේ සිට ඒවා නිසි ප්‍රමාණයට කැපීම, දරුවන්ගේ තොරතුරු  සහිත ස්ටිකර් ඇලවීම මෙන්ම ආරක්ෂාව සඳහා නැවත පොලිතීන්  ආවරණ යෙදීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදුවේ.  එම නිසාම එය  තරමක් වෙහෙසකර හා  අකාර්යක්ෂම ක්‍රියාවලියක් විය හැකිය.එමෙන්ම විවිධ විෂය සඳහා වෙනස් වර්ණයන්ගෙන් පොත් කවර යෙදීම ඇතැම් පාසල්වල අනිවාර්ය කර තිබෙන බැවින් එවිට කඩදාසි කොළ සහ අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා අනවශ්‍ය අතිරේක වියදමක් දැරීමට දෙමව්පියන්ට සිදුවේ.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ඒ සඳහා ඵලදායි පුළුල් විසඳුමක් ලෙස Printcare Agile සන්නාමය යටතේ Book Wonders හඳුන්වාදී තිබේ.මෙමඟින් පාසලේ ලාංඡනය, විෂයට අදාළ වර්ණ, ශිෂ්‍ය නම, ශ්‍රේණිය ඇතුළු අනෙකුත් තොරතුරු මෙන්ම ශිෂ්‍යයාගේ ඡායාරූපයක්ද කවරයේ මුද්‍රණය කළ හැකි අතර මෙම කවරයේ තිබෙන විශේෂ ආරක්ෂිත ස්ථරය නිසා පොතට අමතර ආරක්ෂාවක් හා දිගු කල්පැවැත්මක් ද ලබාදෙයි .

මේ පිළිබඳව අදහස් දක්වමින් Printcare Digital Solutions (Pvt) Limited හි සාමාන්‍යාධිකාරී නුවන් විද්‍යාපතිගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “කාර්යබහුල දෙමාපියන්ගේ ජීවිතය සරල කර ගැනීම සඳහා  විසඳුමක් ලෙස Book Wonders හඳුන්වා දීමට ලැබීම පිළිබඳව  අපි බෙහෙවින්  සතුටු වෙනවා.අපගේ නිෂ්පාදනය සතු three-in-one ක්‍රියාකාරීත්වය තුළින් සම්ප්‍රදායික ලෙස ළමා පොත් කවර දැමීමට ගතවන කාලය අවම කරමින් ඉතා සුළු කාලයක් තුළ පොත් කවර දැමීමට දෙමාපියන්ට හැකියාව ලැබෙනවා.  මෙම නවීන නිෂ්පාදනය  දෙමව්පියන්ගේ මෙන්ම  සිසු දරුවන්ගේ කාර්යක්ෂමතාවයේ සැලකිය යුතු වෙනසක් සිදු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

Printcare Agile ආයතනය විසින් පසුගියදා කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පොත්පත් ඇතුළු සම්පූර්ණ පොත් ලැයිස්තුවක් තිළිණ කරමින් Book Wonders නිල වශයෙන් එළිදැක්වීම සිදු කරන ලදී. මෙම උත්සව අවස්ථාවේදී නවතම book wonders නිෂ්පාදනයේ  ප්‍රායෝගික බව සහ කාර්යක්ෂමතාවය පිළිබඳ  දෙමාපියන්ගෙන් සහ ගුරුභවතුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර රැසක්ද හිමිවිය.

තම ගනුදෙනුකරුවන්ගේ දෛනික කාර්යන් සරල කරමින් ජීවිත වැඩි දියුණු කරන නව්‍ය විසඳුම් සැපයීම සඳහා Book Wonders සමඟින්, Printcare Agile නිරන්තරයෙන් කැපවී සිටියි.  www.slick.lk සබැඳිය වෙත පිවිසීමෙන් Printcare Agile විසින් පිරිනමනු ලබන Book Wonders සහ අනෙකුත් සියලුම නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Printcare Leading Printing සහ Packaging Innovator පිළිබඳව:

1979 දී ආරම්භ කරන ලද Printcare සිය කැපවීම සහ ආයතනය සතු අති නවීන පහසුකම් පිළිබඳ පසක් කරමින් වර්තමානය වන විට මහද්වීප පහක් පුරා විසීරි සිටින පාරිභෝගික ජනතාව වෙත සිය සේවය ලබා දෙන අතර ඔවුන් දකුණු ආසියාවේ ප්‍රමුඛතම මුද්‍රණ, ඇසුරුම් සහ පූර්ව මාධ්‍ය විසඳුම් සපයන්නෙක් වේ.

ආරම්භයේදී තේ කර්මාන්තය ආශ්‍රිත කටයුතු සමඟ Printcare සම්බන්ධ වී සිටි අතර එහිදී  සිය සන්නාමය වෙනුවෙන් ලබා ගත් විශ්වසනීය බව  හා ගුණාත්මක බව  හරහා එතැන් සිට බීම වර්ග, ඖෂධ, ප්‍රකාශන, ටෙලිකොම්, මූල්‍ය සේවා, දුම්කොළ සහ ලොතරැයි ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් සමඟ එක්ව කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය. මේ වන විට  විවිධ ක්ෂේත්‍ර රැසක් සඳහා සිය දායකත්වය ලබාදෙමින්  Printcare ආයතනය  ඉහළ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් විසඳුම් ලබා දීමේ විශ්වාසදායක හවුල්කරුවෙකු  ලෙස සිය සන්නාමය ගොඩනඟාගෙන ඇත.

Printcare හී මධ්‍යස්ථාන ඉන්දියාව, එක්සත් රාජධානිය සහ නැගෙනහිර අප්‍රිකාව ආදි රටවල ද ස්ථාපිත කර ඇති අතර ඒ තුළින් ගෝලීය ගනුදෙනුකරුවන් වෙත බාධාවකින් තොරව සිය සේවා සහ විසඳුම් ලබාදීමට ඔවුන් කටයුතු කරයි. නවෝත්පාදනය, තිරසාරභාවය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් සැමවිටම  කැපවී සිටින Printcare ආයතනය ලොව පුරා සිටින සිය ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන  අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද අති නවීන විසඳුම් සමඟින් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටියි.

ඡායාරූප සිරස්තලය :

 Printcare Agile හි “Book Wonders” එළිදැක්වීමේ උත්සවයේදී උත්සව සභාව ආමන්ත්‍රණය කරන Printcare Digital Solutions හි සාමාන්‍යාධිකාරී නුවන් විද්‍යාපතිගේ මහතා සහ ත්‍යාග බෙදාදීමේ අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටින Printcare PLC හි විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ රවීන්ද්‍රන් මහතා.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *