2026 යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී හේලීස්ඇග්‍රිකල්ච වෙතින් නවීන කෘෂි තාක්ෂණික විසඳුම් රැසක්

Mic
By Mic
5 Min Read

2026 ජනවාරි 23 සිට 25 දක්වා යාපනය මුට්‍රවේලි පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා වූ සිය නොසැලෙන කැපවීම හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යළිත් වරක් තහවුරු කරන ලදී. මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම තුළින් උතුරු පළාතේ ගොවි ජනතාවට, නවීන කෘෂි තාක්ෂණය සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන සමීප කරවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම, කෘෂි තාක්ෂණික හා ප්‍රායෝගික නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම අවස්ථාව මනා පිටිවහලක් විය.

ගොවි ජනතාව, කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය නියෝජිතයන් මෙන්ම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සාමාන්‍ය ජනතාවගේ ද සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට හේලීස් ඇග්‍රිකල්ච ප්‍රදර්ශන කුටිය සමත් විය. මෙය සාම්ප්‍රදායික ප්‍රදර්ශන කුටියකට එහා ගිය, අමුත්තන්ට සෘජුවම අත්දැකීම් ලබාගත හැකි පරිශ්‍රයක් ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. තාක්ෂණය පදනම් කරගත් විසඳුම් මඟින් මෙරට කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය වන ආකාරයත්, එමඟින් අනාගත ගොවි පරපුර සඳහා නවීන කෘෂිකර්මාන්තය වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ආකර්ෂණීය ක්ෂේත්‍රයක් බවට පත් කරන ආකාරයත් මෙහිදී මනාව විදහා දැක්විණි.

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, ඩිජිටල්කරණය වූ සහ යාන්ත්‍රික කෘෂිකාර්මික විසඳුම් මඟින් වගාබිම්වල ඵලදායිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් පැමිණ සිටි අමුත්තන් වෙත මෙම ප්‍රායෝගික අත්දැකීම හරහා ලබා දෙන ලදී. ලොව සුප්‍රසිද්ධ ජපන් සන්නාමයක් වන කුබෝටා (Kubota) වැනි ගෝලීය හවුල්කරුවන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවීන තාක්ෂණය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඒකාබද්ධ කිරීමට මෙන්ම ලොව දියුණුතම නවෝත්පාදන දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට හේලීස් ඇග්‍රිකල්ච සමාගම දක්වන සුවිශේෂී දායකත්වය මෙහිදී යළිත් අවධාරණය කෙරිණි.

ප්‍රදර්ශන කුටියට සජීවී බවක් සහ ආකර්ෂණීය අත්දැකීමක් එක් කරමින්, HJS Condiments ආයතනය විසින් පවත්වන ලද සජීවීව ආහාර සකසන කුටිය හරහා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ නව්‍ය ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කෙරිණි. එහිදී දේශීය කෘෂි අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ “ගොවි අරුණ” මුරුංගා සහ නිල් කටරොලු ඉඳිආප්ප, ගොවි අරුණ වර්ජින් පොල්තෙල් යොදා සකස් කළ තෝස සහ රොටී මෙන්ම “Island Magic” පීනට් බටර් වැනි නිෂ්පාදන ඇසුරින් නිපදවූ විවිධ ආහාර වර්ග රස විඳීමට අමුත්තන්ට අවස්ථාව ලැබුණි. ප්‍රාථමික කෘෂිකර්මාන්තය, පෝෂණය සහ රසය සමඟ මුසු කරමින් කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් එක් කළ හැකි ආකාරය මෙම සජීවී වැඩසටහන මඟින් මනාව පැහැදිලි කෙරිණි.

ප්‍රදර්ශනය පැවැත්වුණු තෙදින පුරා ක්‍රියාත්මක වූ ඩිජිටල් ක්‍රීඩා අත්දැකීම, අමුත්තන්ගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමට සමත් වූ අතර, එහිදී දිනපතා ජයග්‍රාහකයින් 10 දෙනෙකු අහඹු ලෙස තෝරා ගන්නා ලදී. ප්‍රදර්ශන කුටියේ පිහිටුවා තිබූ ඩිජිටල් තොරතුරු පුවරුව සමඟ සම්බන්ධ වූ අමුත්තන්ට යාපනයේ ප්‍රමුඛතම සිනමා ශාලා සඳහා ප්‍රවේශ පත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා තිබීම ප්‍රදර්ශනයට නව උද්‍යෝගයක් එක් කළේය. මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයන් විසින්ම නිර්මාණය කරන ලද ප්‍රවර්ධනාත්මක අන්තර්ගතයන් රාශියක් බිහි වූ අතර, එමඟින් හේලීස් ඇග්‍රිකල්ච සන්නාමය සහ මහජනතාව අතර පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් විය. මීට අමතරව, Quality Seed Company (Pvt) Ltd මඟින් ප්‍රදර්ශනය කළ විවිධ මල් සහ විසිතුරු පැළ වර්ග මිලදී ගැනීමට ද අමුත්තන්ට අවස්ථාව සලසා තිබූ අතර, එය සමස්ත ප්‍රදර්ශන අත්දැකීම තවදුරටත් වර්ණවත් කිරීමට සමත් විය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය හරහා මෙරට ගොවි ජනතාව මෙන්ම රටවැසියන් ද සවිබල ගැන්වීමට හේලීස් ඇග්‍රිකල්ච නිරන්තරයෙන් කැපවී සිටිනවා. දියුණු තාක්ෂණය, ප්‍රායෝගික විසඳුම් සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන එකට එක් කරමින්, කෘෂිකාර්මික ක්ෂේත්‍රය අනාගතයට සූදානම්, තිරසාර සහ අවස්ථා බහුල ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අප සමාගම නොමද සහයෝගය ලබා දෙනවා. යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වැනි වැඩසටහන් හරහා අපට සෘජුවම ජනතාව සමඟ සම්බන්ධ වී, අපගේ තාක්ෂණික විසඳුම් ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පෙන්වා දීමට අවස්ථාව හිමිවෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ගමන්මගෙහි විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස හේලීස් ඇග්‍රිකල්ච සතු භූමිකාව තහවුරු කිරීමට ද මෙය කදිම අවස්ථාවක්.”

හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්, මෙරට ගොවි ජනතාව සහ කෘෂි නිෂ්පාදකයන් ගෝලීය සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කරමින්, කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත් පුළුල් ව්‍යාප්ති සේවාවන් හරහා ඔවුන්ගේ ධාරිතාව වර්ධනය කිරීමටත් කටයුතු කරයි. ඒ ඔස්සේ සමස්ත කෘෂි පද්ධතිය තුළම තිරසාර ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම සමත් වී ඇත. ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සහයෝගය, ශක්තිමත් සබඳතා, ක්ෂේත්‍රය පිළිබඳව ඇති විශේෂඥ දැනුම සහ විශිෂ්ටතම පර්යේෂණ හා සංවර්ධන අංශයේ සහාය ඇතිව, අභියෝගයන්ට ධනාත්මකව මුහුණ දිය, හැකි අනාගතයට සූදානම් කෘෂිකර්මාන්තයක් ගොඩනැගීමෙහිලා හේලීස් ඇග්‍රිකල්ච  සමාගම අඛණ්ඩව කැපවී සිටී.

Share This Article