Ocean Lanka සමාගම “සේවා අභිමන්” Loyalty Awards හිදී සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

Mic
By Mic
3 Min Read

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම, සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීම සහ පක්ෂපාතීත්වය ඇගයීම සඳහා “සේවා අභිමන්” Loyalty Awards පසුගියදා පවත්වන ලදී. මෙම අවස්ථාවේ දී ආයතනයේ වසර 10 සහ 20 යන සේවා කාලයන් සම්පූර්ණ කරන ලද සේවක මහත්ම මහත්මීන් 96 දෙනෙකු ඇගයීමට පාත්‍ර වීම සිදුවිය.

මෙම වසරේ දී සමාගම විසින් වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් 43 දෙනෙකු සහ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් 53 දෙනෙකු සමාගම විසින් ඇගයීමට පාත්‍ර කරන ලදී. මෙම ඇගයීම් තුළින් එම සේවක මහත්ම මහත්මීන් සමාගම වෙනුවෙන් සිදුකර ඇති වසර ගණනාවක කැපවීම පමණක් නොව සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වයට හේතු වී ඇති, ඔවුන්ට සමාගම පිළිබඳව ඇති විශ්වාසය, කණ්ඩායම් හැඟීම සහ නොසැලෙන බව සංකේතවත් කෙරුණි.

මෙම අවස්ථාවේ දී Ocean Lanka සමාගමේ සභාපති ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස්  ප්‍රකාශ කළේය. “Ocean Lanka හි අපි, අපට ඇති විශාලතම ශක්තිය අපගේ සේවක මණ්ඩලය බව සැමවිටම විශ්වාස කරනවා. අපට නව සොයාගැනීම් සිදු කිරීමට, වර්ධනය වීමට සහ දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ඔබගේ කැපවීම හේතුවෙන්. අද ඔබ අප සමඟ අලුත් දශකයකට පිවිසෙන මේ මොහොතේ වසර 10ක් සම්පූර්ණ කරන ලද පිරිස අපගේ අනාගත පරපුර සංකේතවත් කරන අතර වසර 20 පසු කරන ඔබ, නොපසුබට උත්සාහය සහ කැපවීම පිළිබඳ කදිම නිදසුනක් සපයනවා.”

සිය සමස්ත කාර්ය මණ්ඩලයෙන් 46%ක් (සේවකයින් 844ක්) වසර 10කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීම සහ 16%ක් (සේවකයින් 293ක්) වසර 20ක සීමාව පසු කිරීම තුළින්, Ocean Lanka සමාගම සිය කාර්ය මණ්ඩලයේ පක්ෂපාතීත්වය පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙයි. මේ තුළින් සමාගමට අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ වර්ධනය මත පදනම් වූ දිගුකාලීන වෘත්තීය සබඳතා ගොඩනඟා ගැනීමට ඇති හැකියාව පෙන්නුම් කරනු ලබයි.

“සේවා අභිමන්” Loyalty Awards, සමාගම සහ එහි කාර්ය මණ්ඩලය අතර ඇති දිගුකාලීන හවුල්කාරිත්වය සැමරීම සඳහා පවතින සුවිශේෂී අංගයක් ලෙස කටයුතු කරයි. මෙම මුලපිරීම මගින් වෘත්තීය විශිෂ්ටත්වයට පමණක් නොව පක්ෂපාතීත්වය සහ නොසැලෙන කැපවීම ගෞරවයට පාත්‍ර කරන ආකාරයේ පරිසරයක් ඇති කිරීමෙහිලා සමාගමේ කැපවීම පෙන්නුම් කරයි.

තිරසාරභාවය, නවෝත්පාදනයන් සහ අඛණ්ඩ වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් අනාගතය දෙස බලන Ocean Lanka සමාගම, සිය වටිනාම වත්කම වන කාර්ය මණ්ඩලය ඇගයීම උදෙසා අඛණ්ඩව කටයුතු කරයි.

Share This Article