ළමා හිංසනයට එරෙහිව තිත තැබෙන #දැන්ඇති මහා පුරවැසි සංවාදය දැවැන්ත සාර්ථකත්වයට

 කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ළමා ආරක්ෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ අරමුණින්, ෆේස්බුක් මගින් පවත්වන ලද මුල්ම Zoom මහා පුරවැසි සංවාදය සමගින් #දැන්ඇති දැවැන්ත ජාතික ව්‍යාපාරය දියත් කරන ලදි. 2020 ජූලි මස 25 වැනි දින https://www.facebook.com/stopchildcruelty යන ෆේස්බුක් පිටුව ඔස්සේ පැවැත්වුණු මෙම සංවාදයට  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ (NCPA), පරීක්ෂණ උපදේශක විජේසේන විතාන, මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ, නීතිඥ අචලා සෙනෙවිරත්න, අයිප්‍රොබෝනෝ ආයතනයේ අධ්‍යක්ෂ (සමානතා) අරිත වික්‍රමසිංහ, සීකර්ස් ආයතනයේ සම්පත්දායිකා ශාන්ති විජේසිංහ හා ඩිජිටල් අලෙවි නිලධාරිනී පාරමී ජයකොඩි යන විද්වතුන් ඇතුළුව, විශාල පුරවැසි සහභාගිත්වයකින් යුතුව එය පැවැත්විණි.

එහිදී, Change.org මගින් ළමා හිංසනයට එරෙහිව ඉතිහාස ගතවන පෙත්සම් දෙකක් එකවර ජනාධිපතිවරයාට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලදී. ‘ළමා හිංසනයට තිත’ පදනමේ අනුග්‍රාහකයින් වන, එම්බාර්ක් සහ ඔටාරා පදනමේ අධ්‍යක්ෂිකා ඔටාරා ගුණවර්ධන හා Nobles සමාගම් සමූහයේ සභාපති සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සිදත් වෙත්තමුණි ඇතුළත් ප්‍රබෝධමත් වීඩියෝවක් #දැන්ඇති මැයෙන් එහිදී විකාශය කෙරිණි.  

‘#දැන්ඇති මහා පුරවැසි සංවාදය, මෙහෙය වනු ලැබුවේ, ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනිය වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියයි. එහිදී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ පස්වන හා හයවන වාර්තා පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ කමිටුවේ අවසන් නිරීක්ෂණ මගින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අලස ප්‍රතිපත්තිය බරපතල අවධානයට යොමු කරමින්, 2018 ජනවාරි මස නිකුත් කෙරුණු රතු නිවේදනය පිළිබඳව ඇය අවධාරණය කළාය. එමෙන්ම, ළමුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පොලිසිය, අධිකරණ පද්ධතිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැමිණිලි විමසීම් සම්බන්ධ ක්‍රියාවලිය බලාපොරොත්තු සුන් වූ අඩුපාඩුකම් සහිත දීර්ඝකාලීන වේදනාකාරී ක්‍රියාවලියක් බවට පත්ව තිබීම පිළිබඳව අනතුරු අඟවන අතරෙහි, රටම බරපතල කම්පනයට ලක් කරමින් මෑතක සිදු වුණු බිහිසුණු ළමා ලිංගික අපරාධ හා ඝාතන ත්‍රිත්වය, ළමුන්ට එරෙහි හිංසන නැවැත්වීමට වන පුරවැසි විරෝධයේ උච්චතම අවස්ථාවට බවට පත් විය. වෛද්‍ය තුෂ් වික්‍රමනායක අනතුරු අඟවා සිටියේ, ළමා ඝාතනවලට වරදකරුවන් වූ තැනැත්තන් විධායකය විසින් නිදහස් කරන විට, ළමුන්ට එරෙහි මෙවැනි ලිංගික අපරාධ හා ඝාතන සමාජයට භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අසාර්ථක තත්ත්වයන් මතුවීම සත්‍යයක් යැයි තමන් පිළිගන්නා බව සඳහන් කරමින් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ළමුන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දක්වන කැපවීම පිළිබඳව පුරවැසියන් හට සහතික විය. එමෙන්ම,‍් රට පුරා ගම්මානවල ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවටද ඔහු යෝජනා කළේය. ළමා ආරක්ෂණ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට එහිදී ඔහු විසින් කළ ආරාධනය විද්වත් මණ්ඩලය විසින් ඉතාමත් සතුටින් පිළිගන්නා ලදී.  

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණ උපදේශක විජේසේන විතාන මහතා සඳහන් කළේ, ළමුන්ගේ ආරක්ෂණය සම්බන්ධව කටයුතු කිරීම සඳහා විශේෂ බලතල සහිත 1998 අංක 50 දරණ පනතක් මගින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටුවා ඇති බවයි. දිගු කලක් තිස්සේ බලා සිටි, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය මේ වන විට, පස් අවුරුදු සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ අදියරේ පවතින බවද ඔහු එහිදී තහවුරු කළේය.

ළමුන් සම්බන්ධ සංවේදී කාරණා වාර්තා කිරීමේදී, දණ්ඩ නීති සංග්‍රහයේ අංක 365 සී වගන්තියට අනුව, ළමුන්ගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි වාර්තා කිරීමේ මාධ්‍ය වගකීම පිළිබඳව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා සිය අදහස් දැක්වීමේදී සඳහන් කළේය. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා දූෂණ සම්බන්ධව ගොඩගැසී ඇති නඩු 20,000 කට අධික සංඛ්‍යාවක් විසඳා අවසන් කළ හැකි පරිදි, වඩාත් ශක්තිමත් අධිකරණ ක්‍රියාවලියක් සඳහාත් දැනට පවතින ඉපැරණි නීති සංශෝධනය කළ යුතු බවත් නීතිඥ අචලා සෙනෙවිරත්න සඳහන් කළාය.

වසරක් පාසා ළමා ලිංගික අපරාධ සිද්ධීන් දහස් ගණනක් අලුතෙන් එකතුවෙමන් තිබියදී, 2017, 2018 සහ 2019 යන සෑම වසරකම එක් ළමා දූෂණයක් සම්බන්ධයෙන් පමණක් පුද්ගලයකු වරදකරුවකු වන පසුබිමක, වරදකරුවන් හට මරණ දණ්ඩනය පැනවීමේ ඵලදායක භාවය පිළිබඳව අරිත වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. පළිගැනීම අරමුණු කරගත් විපාකදායී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට වඩා ප්‍රතිස්ථාපනය පිණිස වන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් සුදුසු බව ඔහු විසින් යෝජනා කෙරුණු අතර, ඉහළ අපරාධ අනුපාතයක් ඇති බොහෝ රටවල එය සාර්ථක බවද ඔහු සනාථ කළේය.

මෙහිදී අදහස් දක්වමින්, ශාන්ති විජේසිංහ මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම මෙන්ම පෙර පාසල් වයසේ ළමුන්ගෙන් පටන් වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපනය හඳුන්වා දීමේ වැදගත්කම අවධාරණය කළාය. පටු අදහස් සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් මතු කළ විරෝධතා හමුවේ, හත්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා නිර්දේශ කර තිබූ ලිංගික අධ්‍යාපන ග්‍රන්ථය වන “හතේ අත්පොත” මතභේදාත්මක ලෙස අතහැර දැමීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක වරදක් බව සඳහන් කළාය. එය ළමුන්ට එරෙහි ලිංගික අපරාධ වැඩිවීමේ වත්මන් වාතාවරණය තුළ බරපතල වැරැද්දක් බව සමස්ත විද්වත් මණ්ඩලයේම පිළිගැනීම විය.

නවක වදය හා පහත් කොට සැලකීම තහනම් කරන ශිෂ්‍ය ප්‍රඥප්තියට අත්සන් තබන ලෙසට, පාරමී ජයකොඩි විසින් සියලුම විශ්ව විද්‍යාල සිසුන් දිරිමත් කරන ලදී. ඇය විශේෂයෙන් අවධාරණය කළේ, සිසුන් ආරක්ෂා කිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් ලිංගික අපරාධ දක්වා නවකවදය වර්ධනය වී ඇති බවයි.

එහිදී සංවාදයට සහභාගිවූවන් විසින් ළමා හිංසන වැළැක්වීම සඳහා පහත සඳහන්, පංච මහා යෝජනාව සම්මත කර ගන්නා ලදී.

එනම්, (ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය) – ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් යෝජනා කර ඇති ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය වේගවත්ව ක්‍රියාවට නැංවීම, (මාධ්‍ය විනය) – මාධ්‍ය ආචාර ධර්ම හා “දරුවාගේ යහපත පිණිස” යන විශ්වීය මූලධර්මය උල්ලංඝනය කරමින් ළමා වින්දිතයින්ගේ තොරතුරු හෙළිදරවු කරන අයට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් විනිවිදභාවයෙන් යුතුව විධිමත් පියවර ගැනීම, (පොලිස් විනය) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් දී ඇති අයිතිවාසිකම්වලට අනුව සියලුම පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සහතික කෙරිණි. විශේෂයෙන් ළමුන් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, 2016/06/12 දින SC (FR) අයදුම්පත් අංක 677/2012 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති මාර්ගෝපදේශන අනුගමනය කළ යුතු වීමේ කාරණයද එහිදී සම්මත කෙරිණි. (වගවීමේ නිලධාරී)– නීතිපතිවරයා වෙත ගොනු කර ඇති සෑම නඩුවක් සඳහාම, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් ඉදිරිපත් කරන නඩු කටයුතු සඳහා පළපුරුද්දක් සහ නඩුව සම්බන්ධ දැනුමක් ඇති යෝජිත නිලධාරියකු බැගින් පත් කිරීමෙන්, අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවට යෝජනා කෙරිණි. (කාර්ය සාධක බලකාය) ළමා ආරක්ෂණ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය වෙනුවෙන්, සිවිල් සංවිධානවලින් හා රජයේ බලධාරීන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිහිටුවා ගැනීමද සම්මත විණි.

විශේෂයෙන්ම‍, ළමුන්ගේ සුභ සාධනය වෙනුවෙන් අවංකවම කැපවුණු සංවිධාන සමග යහපත් සන්නිවේදනයක් පවත්වා ගන්නා ලෙස සංවාදයට එක්වුණු විද්වත් මණ්ඩලය මගින්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලීමක්ද කෙරිණි.

මෙම මහා පුරවැසි සංවාදයට ලැබුණු සුවිශාල මහජන සහය පිළිබඳව ස්තුතිවන්ත වෙමින්, ඊළඟ මහා පුරවැසි සංවාදය තෙක් ‘ළමා හිංසනයට තිත’ පදනම සමග එක්ව ළමා ආරක්ෂණ ක්‍රියාකාරකම්වල නිරත වන ලෙස ඔවුන් දිරිමත් කරමින්, වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය සංවාදය නිමා කළාය.

වැඩි විස්තර සඳහා www.stopchildcruelty.com යන වෙබ් අඩවියට හෝ [email protected] ඊමේල් ලිපිනයට යොමු වන්න.

Leave a Reply