Sinhala

කෘෂි ව්‍යවසායකත්ව අවස්ථා නිර්මාණය තුළින් දේශීය කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමු

ශතවර්ෂ ගණනාවක් පුරාවට අපේ මුතුන් මිත්තන් තිරසාර කෘෂිකාර්මික භාවිතයන් තුළින් සංවර්ධනය කළ කෘෂිකර්මාන්තය,  ආර්ථිකයේ වැදගත්ම අංශයක් වූයේ  ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්මාන්තයෙන් හිමි වූ ඉහළ දායකත්වය හේතුවෙන්. 

නමුත් වර්තමානයේ කෘෂිකර්මාන්තය ජීවෝනෝපාය කරගත් දේශීය ජනගහනය 28% ක් දක්වා පහත වැටී ඇති අතර, කෘෂි  ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන්නේ 7% ක දායකත්වයක් පමණි. මෙම සංඛාත තුළින් පැහැදිළිවම ගම්‍ය වන්නේ දේශීය ආර්ථිකය පන ගැන්වීමට කෘෂි ආර්ථිකයේ  දායකත්වය වැඩි කළ  යුතු  බවය.

මෙම තත්ත්වයට ධනාත්මක ලෙස මුහුණ දීමට නම්, කෘෂි අපනයන වර්ධනය උදෙසා ගොවීන් ධෛර්යමත් කිරීමත්, කෘෂි ආනයන අධෛර්යමත් කිරීමත් කඩිනමින් සිදු කළ යුතුව ඇත.

“අද වන විට දේශීය කෘෂිකාර්මික අපනයනවල වටිනාකම මුළු අපනයනයන ප්‍රතිශතයෙන් 20% ක් පමණ වන අතර, එය වර්ධනය කළ යුත්තේ,  දේශීය කෘෂි බෝග නිෂ්පාදනය සහ අගය එකතු කළ නිෂ්පාදන වැඩි කිරීමට පියවර ගැනීම තුළින්.  මේ වන විට වී හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න ටොන් 4 ක් පමණ වන නමුත්,   එය සැලසුම් සහගත යාන්ත්‍රණයක් සහ නිවැරදි  ආයෝජන හරහා ටොන් 9- 10ත් අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය කළ හැකියි.

කෘෂිකර්මාන්තයට සුදුසු දේශගුණයක්, සාරවත් පසක් ඇතුලු කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය සියලු භූගෝලීය සම්පත් වලින් ශ්‍රී ලංකාව පොහොසත් දේශයක් බව අප සියලු දෙනා දන්නා කරුණක්. මේ තත්ත්වය තුළ දේශීය කෘෂිකර්මාන්තයේ වර්ධනය උදෙසා කඩිනමින්ම අවශ්‍ය වන්නේ කෘෂි ව්‍යවසායකත්ව අවස්ථා නිර්මාණය කරන නිසි යාන්ත්‍රණයක් කිවහොත් නිවැරදියි.”  ඩීමෝ හි කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටාව මහතා පවසා සිටියි. 

“මෙම පසුබිම තුළ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයින්, විශේෂයෙන් තරුණ තරුණියන් කෘෂි ව්‍යාපාර කෙරෙහි නැඹුරු කිරීමට කඩිනම් අවශ්‍යතාවයක් පවතී. මෙහිදී, කෘෂි ව්‍යවසායකත්ව වර්ධනය පිළිබඳ කතා කිරීමේදී,  අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි දායකත්වයද ඇතුව, ක්ෂේත්‍ර වර්ධනය උදෙසා අවශ්‍ය නූතන ගොවිතැන් ක්‍රම පිළිබඳ දැනුම, නව තාක්ෂණය සහ සම්පත් අවශ්‍ය පාර්ශවයන් වෙත කඩිනමින් ලබා දීමයි.  නව තාක්‍ෂණයන් තුළින් කෘෂිකර්මාන්තය විධිමත් කිරීම ක්ෂේත්‍ර ඵලදායීතා මට්ටම් ඉහළ නැංවීමට සහ නිෂ්පාදන පිරිවැය අවම කිරීමට උපකාරී වන අතරම, කෘෂිකර්මාන්තය සිය ජීවිකාව කරගන්නා පිරිස වර්ධනය වීමටද එය හේතු වෙයි. තවද, කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේ කාර්යේදී, එහි සැපයුම් හා වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය,  වාණිජ හා මහා පරිමාණ නිෂ්පාදනයට සහාය වීම සහ නව ගොවිතැන් ක්‍රම නව්‍යකරණය සඳහා පෞද්ගලික අංශයේ කාර්යභාරය හා කැපවීම ඉතා වැදගත් වේ. 

පෞද්ගලික අංශයේ කාර්යභාරය පිළිබඳ කතා කිරීමේදී,  දේශීය ආර්ථික වර්ධනය උදෙසා  කෘෂිකර්මාන්තයේ ඇති වැදගත්කම අවබෝධ කරගනිමින්, ඩීමෝ කෘෂිව්‍යාපාර (DIMO Agribusinesses) අංශය දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමේ කාර්යයේදී පෙරමුණ ගෙන ක්‍රියා කරයි. ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශය විවිධ ව්‍යාපෘති හරහා කර්මාන්තයට සහයෝගය දැක්වීමට කැපවී සිටින අතර, දේශීය ගොවීන් අතර තිරසාර කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ දැනුම බෙදාහදා ගනිමින්, නව බෝග ආරක්ෂණ විසඳුම්, බීජ, පොහොර, හරිතාගාර ගොවිතැන සහ ක්ෂුද්‍ර වාරිමාර්ග පද්ධති ඇතුළු නවතම කෘෂි තාක්ෂණයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරමින් සිටී. තවද, ඩීමෝ හි කෘෂි තාක්ෂණික උද්‍යාන,  කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධනය, බීජ නිෂ්පාදනය, කෘෂි අධ්‍යාපනය සහ කර්මාන්තයේ වර්ධනයට සහාය වීම සඳහා පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.” ප්‍රියංග මහතා වැඩි දුරටත් පවසා සිටියි. 

කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේ ගමනේදී ප්‍රධාන කරනා ත්‍රිත්වයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.  ඉන්  පළමු වැන්න නම්, ගොවීන් හට කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් ලෙස දැකීමට දිරිගැන්වීමයි.  වඩාත් සංවර්ධිත කෘෂි ක්ෂේත්‍රයක් උදෙසා වන මෙම ප්‍රවේශය මඟින් ගොවීන් තම කෘෂි ව්‍යාපාරය වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සහතික කරනු ඇති. මෙමඟින්, සියළුම ගොවීන්ට සාර්ථක ව්‍යවසායකයින් බවට පත්වීමේ හැකියාව සමඟින්  ආර්ථික සංවර්ධනයට දායක වීමට අවස්ථාව හිමිවේ.  දෙවන වැදගත්ම කාරණාව නම්,  ගොවීන්ට බෝග නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය නව්‍ය ගොවිතැන් ක්‍රම හරහා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට හැකි වන පරිදි ස්මාර්ට් (SMART)  ගොවිතැන් ක්‍රම  කෙරෙහි අවධානය යොමු කිරීමයි. ස්මාර්ට් (SMART)  ගොවිතැන් ක්‍රම අතරට කර්මාන්තයේ හැකි සෑම අංශයක් සඳහාම නව තාක්‍ෂණය භාවිතා කිරීම, නව ගොවිතැන් ක්‍රම හඳුනා ගැනීම සහ භාවිතය හා පරිසර කළමනාකරණය යනාදිය ඇතුළත් වේ. තෙවන මුලිකාංගය වනුයේ  තිරසාර කෘෂිකර්මාන්තය වන අතර, එය අනාගත පරපුර සඳහා පවත්නා සම්පත් ආරක්ෂා කිරීමට බෙහෙවින්  උපකාරී වේ. හානිකර පොහොර භාවිතය අවම කිරීම සහ නිර්දේශිත ගොවිතැන් ක්‍රමවලට  අනුගත වීමෙන් පස සුරක්ෂිත කර ගැනීම මෙහිදී ප්‍රමුඛ කොට සැළකිය හැකියි. 

Greenhouse cultivation, Indoor vertical Farming, Farm Automation, Precision Agriculture, Blockchain සහ AI වැනි නව තාක්ෂණයන් කෘෂිකාර්මික කර්මාන්තයේ දියුණුව සඳහා අනාගතයේදී ඉහළ කාර්යභාරයක් සිදු කරනු ඇත.  Greenhouse cultivation යනු ප්‍රශස්ථ තත්වයන් යටතේ බෝග කළමනාකරණය කිරීමට උපකාරී වන තාක්‍ෂණයකි. Indoor vertical Farming මඟින් සීමිත භූමි ප්‍රමාණයක බෝග වගාව සිදු කරමින් ක්ෂේත්‍ර වර්ධනය උදෙසා ඉහළ දායකත්වයක් ලබා දිය හැකිය.  බෝග හෝ පශු සම්පත් නිෂ්පාදන චක්‍රය ස්වයංක්‍රීය කිරීමට Farm Automation ඉවහල් වන අතර, තෙතමන මට්ටම්, පාංශු තත්වයන් සහ ක්ෂුද්‍ර දේශගුණය වැනි සාධක මනාව පාලනය කර ගනිමින්, ගොවීන්ට අස්වැන්න උපරිම කර ගැනීමට Precision Agriculture උපකාරී වේ. එමඟින් නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවන  අතරේ  පිරිවැයද අවම කරයි.  තවද, Blockchain වැනි කර්මාන්තයේ ප්‍රමුඛතම තාක්‍ෂණයන් මඟින් හිමිකාරිත්ව වාර්තා සොයා ගැනීමට, සැපයුම් දාමවල ආරක්ෂාව සහතික කිරීමට, ක්ෂේත්‍ර වංචා අවම කිරීමට සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව ව්‍යාපාරයේ යෙදීමට අවශ්‍ය සහය ලබා දෙයි.  AI මඟින් බලගැන්වුණු දුරස්ථ සංවේදක සහ චන්ද්‍රිකාවලට ශාඛ සෞඛ්‍යය, පාංශු තත්ත්වය සහ ආර්ද්‍රතාවය නිරීක්ෂණය කළ හැකි අතර ගොවීන්ට ඔවුන්ගේ  තීරණ ගැනීමේ යාන්ත්‍රයේදී විශාල සහයක්ද මෙම තාක්ෂණයන් සපයයි. 

තාක්ෂණය කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට සහ කෘෂි ව්‍යවසායකත්වයට වර්ධනයට ප්‍රධාන සාධකයකි. බෝග අස්වැන්න උපරිම කර ගැනීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගත හැකි අතර,  නව්‍ය තාක්‍ෂණික විසඳුම් දැනටමත් ගෝලීය කෘෂි ක්ෂේත්‍රය තුළ භාවිතා කරයි.  එම නිසා, දේශීයව තාක්‍ෂණයට ප්‍රවේශ වීමේ හැකියාව,  නියත වශයෙන්ම මෙම ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාකාරී  තරුණ සහභාගිත්වය ඉහළ නැංවීමට දායක වන අතරම, ඔවුන්ට සීමාවන් ඉක්මවා යමින් නව්‍යකරණයන් සිදු  කිරීමට අවස්ථා සලසයි. එබැවින්,අප වැඩිදියුණු කළ තාක්‍ෂණයන්හි අවශ්‍යතාවය අවබෝධ කර ගැනීම සහ ප්‍රමාණවත් තාක්‍ෂණික දැනුම සමඟ ගොවීන්ට නවීන තාක්‍ෂණික විසඳුම් ලබා දීම සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අතිශයින් වැදගත් ය.

ඡායාරූප විස්තරය

1. ඩීමෝ හි කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටාව

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *