Sinhala

ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා සහයෝගය දක්වන මෙන් සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය ගරු අගමැති තුමන්ගෙන් ඉල්ලයි

ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් පසුගියදා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී, කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දේශීය ආර්ථිකය තුළ පැනනැගී ඇති විවිධ ගැටළු පිළිබඳ සාකච්ඡා සිදුකරන ලදී. මෙහිදී පවතින සෞඛ්‍යමය වාතාවරණය තුළ, දේශීය සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම සුමට ක්‍රියාකාරීත්වය සඳහා, මුදල් අමාත්‍යාංශයේද සහයෝගය ඇතුව අවශ්‍ය සහන ක්‍රියාත්මක කරදෙන මෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීම් සිදුකරන ලදී.  ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (SLABA) නියෝජනය කරමින්ද මෙම සාකච්ඡාව සඳහා නියෝජිතයින් සහභාගී විය. 

මෙම සාකච්ඡාව තුළදී, සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැක ගනිමින් මේ වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලු කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී, SLRA සහ SLABA විසින්, ගරු අග්‍රාමාත්‍යවරයා සමඟ ක්ෂේත්‍ර ගැටලු කිහිපයක්ම පිළිබඳ සාකච්ඡා සිදු කරන ලද අතර, බැංකු ණය ලබා ගැනීම,  ණයවර ලිපි විවෘත කිරීමේදී පැනනගින ගැටලු,  ඇගලුම් හා සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ  සේවකයින්  කඩිනමින්ම එන්නත්කරණය සිදු කිරීම,  සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගෙවීම් හා සම්බන්ධ ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වන ලදී. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් දැනට දීර්ඝ කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මේ නියෝජිත පිරිස ඉල්ලා සිටියේ, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පාරිභෝගික භාණ්ඩ (FMCG); සුපිරි වෙළඳසැල්, ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ; නිවාස; ගෘහස්ථ සහ පාරිභෝගික භාණ්ඩ; පාවහන් සහ උපාංග, විනෝදාස්වාදය, අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල්, සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබාදෙන මෙන්ය. 

ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළුව මෙම අවස්ථාවට, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අගමැති අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් SLRA හි නිර්මාතෘ / සභාපති හුසේන් සාදික් මහතා මෙලෙස පවසා සිටියි.  “අපට ක්ෂේත්‍ර ගැටලු සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුලු අමාත්‍ය මණ්ඩලයේ සියලුම මැති ඇමතිවරුන් වෙත අපගේ ස්තූතිය පළකර සිටිනවා. ණයපමා සහන කාලසීමාවන් පිළිබඳ ගැටලු, උපයෝගීතා ගෙවීම් පමා කිරීමේ හෝ අඩු කිරීම පිළිබඳ මෙහිදී අප විසින් සාකච්ඡා කරන ලදී. ආර්ථික සංවර්ධනය ඉලක්කයන් වෙත සාර්ථක ලෙස ගමන් කිරීමට නම් සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ දායකත්වය මඟ හැරිය නොහැකිය.  පාරිභෝගිකයා වෙත අනවශ්‍ය ලෙස පීඩනයක් ඇති නොකරමින් ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය රජයේ සහයෝගය හිමිවේ යැයි අප අපේක්ෂා කරනවා.” 

ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන SLRA  සිල්ලර කර්මාන්තයේ අංශ රැසක් නියෝජනය කරයි. සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG); සුපිරි වෙළඳසැල්, ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ; නිවාස; ගෘහස්ථ සහ පාරිභෝගික භාණ්ඩ; පාවහන් සහ උපාංග;  විද්‍යුත් වාණිජකරණය (E-Commerce); සංචලතාව (Mobility); විනෝදාස්වාදය, අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල්; නිවාස සැපයුම්කරුවන්, සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන අංශ ඒ අතර වේ.

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියෙන් 15% කට අධික කොටසකට දායකත්වය දක්වන ලද ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් අංශය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් සපයයි. තවද සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හා බැඳුණු ව්‍යාපාර අංශය සහ විලාසිතා හා ඇගලුම් අංශයන් දේශීය තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා සපයා ඇත.  මේ හේතුවෙන් මෙම අංශයේ ක්‍රියාකාරීත්වය අඩපණ වන අයුරින් ගන්නා තීරණ හේතුවෙන් සමස්ථ ආර්ථිකයම කඩාවැටීමකට ලක්වනු ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *