Sinhala

DIMO සමඟින් Allianz එක්ව ‘MercedesProtect’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, සිය Mercedes-Benz පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ මෝටර් රථ රක්ෂණ වැඩසටහනක් වන MercedesProtect පසුගියදා හදුන්වා දෙන ලදී. Mercedes-Benz  සඳහා ගෝලීය රක්ෂණ සහකරු වන Allianz හා එක්වෙමින් පාරිභෝගික පහසුව වෙනුවෙන් මෙම වැඩසටහන හඳුන්වා දී ඇත. 

MercedesProtect යනු Mercedes- Benz හිමිකරුවන්ට වාසි රැසක් ගෙනදෙන රක්ෂණ පහසුකමක් වන අතර, මේ හරහා මෝටර් රථ රක්ෂණය කිරීමේදී රථ වාහන  අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව සිදුවේ. MercedesProtect මගින් හදිසි අනතුරු අලුත්වැඩියාවන් අයිතිකරුට කිසිඳු වියදමක් ඇති නොවන ආකාරයට සිදුකර ගත හැක. මෙම රක්ෂණ වැඩසටහන අදාළ වන්නේ නිෂ්පාදිත දිනයේ සිට වසර 05 ට අඩු Mercedes-Benz රථවාහන සඳහා පමණි.  මෙහිදී සියලුම   Body & Paint අලුත්වැඩියා  කිරීම   සහ අනිකුත් සේවාවන් Mercedes-Benz විශිෂ්ටතා මධ්‍යස්ථානය වන DIMO 800 හි පමණක් සිදු කරන අතර, Mercedes-Benz AG  විසින් අනුමත කරන ලද ප්‍රමිතීන්ට අනුකුලව අලුත්වැඩියාව  සිදුකරයි. 

DIMO යනු ශ්‍රී ලංකාව තුළ Mercedes-Benz සඳහා වන එකම බලයලත් අලෙවි නියෝජිතයායි. දක්ෂ පළපුරුදු සේවක මණ්ඩලයක් සහිත අග්නිද ආසියාවේ එකම Body & Paint අලුත්වැඩියා කිරීම් සඳහා Mercedes-Benz AG  විසින්  සහතිකලත් එකම සේවා මධ්‍යස්ථානයද DIMO සතුය.  මෙහි සිදුකරන සියලුම අලුත්වැඩියාවන් සහ සේවාවන් Mercedes-Benz AG නිශ්චිත අලුත්වැඩියා ප්‍රමිතීන්ට අනුකූලව  නියම  අමතර කොටස් සහ උපාංග භාවිත කරමින් සිදු කරයි. 

MercedesProtect හි ‘Call & Go’ පහසුකම ඇතුළත් වන අතර එහිදී රියදුරන්ට අනතුර සිදු වූ ස්ථානයට නියෝජිතයෙකු පැමිණෙන තෙක් බලා නොසිට, Allianz සමාගමවෙත ඒ පිළිබඳ දන්වා පිටත්ව යා හැක. DIMO, Allianz සමඟ එක්ව, Mercedes-Benz පාරිභෝගිකයින්ට MercedesProtect රක්ෂණ වැඩසටහන හරහා, ඔවුන්ටම වෙන්වූ මුද්‍රිත   මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් සහ e-කාඩ්පත් ආකාරයෙන් ලබා දෙන අතර මෙම කාඩ්පත් දෙවර්ගයම එක ලෙස වලංගු වේ.

MercedesProtect වාහනයේ හිමිකරු පමණක් නොව තෙවන පාර්ශවයන් ද ආවරණය කරන රක්ෂණ විසඳුමකි.  එය ස්වභාවික උපද්‍රව සහ තෙවන පාර්ශ්ව දේපල හානි සඳහා රුපියල් මිලියන 10  ආවරණයක්  මෙන්ම, windscreen සදහා රුපියල් ලක්ෂයක් දක්වා ආවරණයක්  ද ලබා දෙයි.  පවුලේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සළකමින්, MercedesProtect හරහා baby on-board protection, medical cover සහ life cover වැනි සුවිශේෂී අංගයන්ද  හඳුන්වා දී තිබේ. තවද මෙම සුවිශේෂී වැඩසටහන හරහා, බරපතල අනතුරු  වලදී ලීසිං ක්‍රමයට ලබාගත් රථවාහන සඳහා හිඟ ප්‍රාග්ධනයන් පියවීමට රුපියල් 500,000 ක් දක්වා මුදලක් හිමිවේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Allianz Insurance Lanka Limited හි ප්‍රධාන විධායක නිලධාරී ගනි සුභ්‍රමානියම් මහතා මෙලෙස පවසයි. “Daimler සමඟින් Allianz හට පවතින දිගුකාලීන සම්බන්ධතාව මත පදනම්ව,  ශ්‍රී ලංකාවේ DIMO හි Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා වරප්‍රසාද ලබාදීමට හැකිවීම පිළිබඳ අප ඉතා සතුටට පත් වෙනවා.  මේ හරහා අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන්, ඔවුන් සඳහාම සැකසු MercedesProtect රක්ෂණ විසඳුම හඳුන්වා දීම ඉතා සුවිශේෂී දෙයක් ලෙස මම දකිනවා.  මේ හරහා අප පාරිභෝගිකයින්ට ඉතා විශ්වාසයෙන් යුතුව අපගේ කඩිනම් සේවාවන් ලබාගැනීමේ හැකියාව හිමිවන බව කිව යුතුයි. ඉදිරියේදීත් අපගේ පාරිභෝගිකයින් ගේ පහසුව වෙනුවෙන් මෙවැනිම ආකාරයේ සුවිශේෂී වැඩසටහන්  සහ  විසඳුම් දියත් කිරීමට DIMO වැනි විශ්වාසනීය හවුල්කරුවන් සමගින් අත්වැල් බැඳ ගැනීම අපගේ අරමුණයි”.

 මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ DIMO හි Mercedes-Benz අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසයි. “DIMO සෑම විටම සිය සේවාදායකයින් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන් කැපවී සිටින සමාගමක්. මෙම නවතම රථවාහන රක්ෂණ විසඳුම අපගේ Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙනවා. දශක අටක කාලයක් පුරාවට අප කෙරෙහි පාරිභෝගිකයින් තැබූ විශ්වාසය වෙනුවෙන් තිළිණ කෙරෙන සුවිශේෂී රක්ෂණ විසඳුමක් ලෙස මෙය මම දකිනවා”. 

MercedesProtect හි අනතුර සිදුවූ ස්ථානයේ සිට DIMO 800 සේවා මධ්‍යස්ථානය දක්වා රථය ගෙන යාමේ සේවාවන් සඳහා පාරිභෝගිකයාට රු. 10,000 ක් ​හිමිවේ. මීට අමතරව, අලුත්වැඩියාව සම්පූර්ණ කිරීමට දින තුනකට වඩා ගත වුවහොත්, කුලී රථ ගාස්තු ප්‍රතිපූරණය වශයෙන් දිනකට රුපියල් 1,000 ක් බැඟින් දින පහළවක් දක්වා පාරිභෝගිකයාට හිමිවේ. නිවස සහ ව්‍යාපාරය යන ද්විත්වය රක්ෂණය කිරීමේදී සාර්ථක පිළියම් සපයමින්, විවිධ ආකාරයේ රක්‍ෂණ කළමනාකරණයන් සරල කිරීම සඳහා, MercedesProtect  මඟින් නිවාස සහ ව්‍යාපාර රක්‍ෂණ සඳහා වන සියලුම වාරික සඳහා 25% ක වට්ටමක් ද ලබා දෙයි.

ජර්මනියේ Allianz SE හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Allianz Lanka, ලොව ප්‍රමුඛ රක්ෂණ විසඳුම් සපයන සමාගමකි.  2009 වර්ෂයේදී Allianz SE රටවල් 27ක සේවා සපයන Mercedes-Benz AG සමඟ හවුල්කාරීත්වයකට එළඹිණි. රක්ෂණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ විසඳුම් දේශීය පාරිභෝගිකයා වෙත සපයමින්, ඉදිරියටම ඇදෙන Allianz Lanka, ලොව විශාලතම ආයෝජකයෙකු වන Allianz සමූහයේ ශක්තියද සමඟින් ඉදිරියට ගමන් කරයි. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *