Sinhala

දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අද්විතීය චමත්කාරය ලොවටම ප්‍රදර්ශනය කරන FACETS අභිමානවත් 30 වැනි වසර සමරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ(SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහයෝගීතාවයෙන් පවත්වනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS’ හි සාඩම්බරණීය 30 වැනි සංවත්සරයේ උත්කර්ෂවත් සැමරුම එළබෙන නව වසරේදී පැවැත්වේ. ඒ අනුව  2024 වසරේ ජනවාරි 06 වැනිදා සිට ජනවාරි 08 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී මෙම අවස්ථාව  පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය නිසැකවම දශක තුනක් පුරාවට  ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණවල උරුමයන්ගේ අනර්ඝත්වය තුළින් ගෝලීය වෙළෙඳපල තුළ අත්පත් කරගෙන ඇති ඉහළ කීර්තිය  මැනවින් විදහා දක්වන ප්‍රභල සංධිස්ථානයක් වනු ඇත.

මෙම විශේෂ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් FACETS ශ්‍රී ලංකා හි සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාව සතු පොහොසත් උරුමය  ලොවටම අවධාරණය කරන FACETS යනු  අපේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්ම වූ ප්‍රදර්ශනයක්. ලොව පුරා සිටින ගැණුම්කරුවන් මෙරට වෙත කැඳවමින් අපේ අතිවිශිෂ්ට මැණික් හා ස්වර්ණාභරණ ඔවුන් සමඟ බෙදා ගැනීම අපගේ අරමුණයි.”

FACETS 2024 ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ උරුමයේ අනුසාරයෙන් නිමවූ දර්ශනීය ප්‍රදර්ශන කුටි කිහිපයකින් සමන්විත වේ. ඒ අනුව මැණික් ප්‍රදර්ශන කුටිය , ප්‍රධාන ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය , තිරසාර ප්‍රදර්ශන කුටිය, දුර්ලභ මැණික් නිර්මාණ කුටිය, NGJA SME කුටිය ආදී  විශේෂ ප්‍රදර්ශන කුටි රැසක් මෙවර ප්‍රදර්ශනයට සහභාගි වන නරඹන්නන් වෙනුවෙන් විවෘතය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන කේන්ද්‍රස්ථානයක් වන දුර්ලභ මැණික් නිර්මාණ කුටිය FACETS 2024 හි සුවිශේෂී අංගයක් වේ. චිත්තාකර්ෂණීය මෙන්ම විවිධ වර්ණයන්ගෙන් යුත් මැණික් ප්‍රභේද රැසක මෙන්ම ශ්‍රී ලාංකේය නිල් මැණික්වල විවිධ පරාසයන්ගේ අසිරිය එහිදී නරඹන්නන් වෙත රසවිදිය හැකිය. ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවලින් ලබාගත් රළු මැණික් සහ කපා ඔප දැමූ මැණික් යන දෙයාකාරයෙන්ම මැණික් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වීමද ඉතා සුවිශේෂී කරුණකි . FACETS 2024 දී මෙරට  ප්‍රථම තිරසාර ප්‍රදර්ශන කුටිය හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර එය තිරසාර භාවිතයන් වෙත මනා ප්‍රවේශයක් වනු ඇත .මෙමඟින් පරිසර හානිය අවම කර ගනිමින් උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි සූක්ෂම ලෙස මැණික් ලබා ගන්නා ආකාරය මෙන්ම සදාචාරාත්මක ලෙස වෙළෙඳ කටයුතුවල නියැළීම, වගකීම් සහගතව පතල් කැණීම් සිදුකිරීම සහ කැණීම් කරන ලද ඉඩම් ඒවායේ ස්වාභාවික තත්ත්වයට නැවත සකස් කිරීම ආදී කරුණු රැසක් අරමුණු කරගත් සංරක්ෂණ සැලසුම් රැසක් ක්‍රියාත්මක වේ. මෙම සියලුම ක්‍රියාමාර්ගයන්ගේ මූලික පරමාර්ථය වන්නේ අපේ රටේ මැණික් කර්මාන්තයේ ඉතිහාසය සහ එහි නවීන මුලපිරීම් පිළිබඳව  අද්විතීය දර්ශනයක් නරඹන්නන් වෙත පිරිනමමින් ලොව පුරා විසීරී සිටින ගැණුම්කරුවන් සහ ව්‍යාපාරිකයින් ආකර්ෂණය කර ගැනීම සහ දැනුවත් කිරීමයි.

තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය මැණික් හා ස්වර්ණාභරණ නිර්මාණවල චමත්කාරය , අසමසම විවිධත්වය මෙන්ම තිරසාරභාවය ලොවටම පසක් කරන FACETS ප්‍රදර්ශනය මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට පමණක් නොව ලාංකේය අභිවෘද්ධිය කෙරෙහිද ඉවහල් වන විශිෂ්ට අවස්ථාවකි. 2024 වසරේ ජනවාරි 06 සිට 08 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී අවස්ථාව වෙත සහභාගි වී ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණ කලාවේ සැබෑ සුන්දරත්වයේ අපූර්ව අත්දැකීම ලබාගත හැකිය.

ඡායාරූප සිරස්තල –

FACETS ශ්‍රී ලංකා 2024 හි සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *