Sinhala

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක්  පවත්වන ලද අතර ඒ සඳහා තෝරාගත් පුහුණුකරුවන් 30 දෙනෙක් සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් MDF Training & Consultancyහි ව්‍යාපෘති කළමනාකාරිණිය වන Zoe Lawson මහත්මිය මෙසේ සඳහන් කළාය. “මෙරට  කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායන්   සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 17ක මූල්‍ය පරතරය සහ ශ්‍රී ලංකාවේ රැකියා සහ ව්‍යවසායකත්වය තුළ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය අවම කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. බැංකු ණය යෝජනා ක්‍රමවලට අමතරව, යෝග්‍ය වූ පුහුණු කිරීම සහ ව්‍යාපාර සැලසුම් කිරීම තාක්ෂණික සහ මූල්‍ය ආධාර ක්‍රියාවලියන් සාර්ථක කිරීමට  උපකාරී වෙනවා.”

කාන්තා ව්‍යවසායකයන්ට සහය මෙන්ම උපදේශනය ලබාදිය හැකි  කාන්තා පුහුණුකරුවන්ගේ ජාලයක්  ස්ථාපිත කිරීමේ පුළුල් උපාය මාර්ගික සැලැස්මේ එක් පියවරක් ලෙස දියත් කළ මෙම ප්‍රවේශය යටතේ  කාන්තා ව්‍යවසායකත්වය, ඊ වාණිජ ක්ෂේත්‍රය, පාරිසරික වශයෙන් තිරසාර ව්‍යාපාර, ඩිජිටල් අලෙවිකරණය සහ ව්‍යාපාර පිළිබඳ පුහුණු කිරීමේ කුසලතා වැනි අංශ  ආවරණය කරයි .

බොහෝ විට සම්පත්, ජාල සහ උපදේශන අවස්ථා සඳහා ඇති සීමිත ප්‍රවේශ හැකියාව ඇතුළු සැලකිය යුතු අභියෝග රැසකට කාන්තා ව්‍යවසායනයන් මුහුණ දෙයි.  මෙම වැඩසටහන ඔස්සේ කාන්තා ව්‍යවසායකයන්ගේ දියුණුව උදෙසා ඉවහල් වන මෙවලම්, දැනුම සහ සහයෝගය ලබා දිය හැකි දක්ෂ කාන්තා ව්‍යාපාරික පුහුණුකරුවන්ගෙන් සමන්විත ශක්තිමත් ජාලයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනු ඇත.

ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම පුහුණුව ලත්  පුහුණුකරුවන් හරහා කාන්තාවන් සඳහා වෙන්වූ විශේෂ අමතර ව්‍යාපාරික පුහුණු සැසි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එමඟින් ස්වයංපෝෂිත සවිබල ගැන්වීමේ සහ සංවර්ධනයේ ක්‍රියාවලියක් පෝෂණය කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ  ආර්ථිකට කාන්තාවන්ගේ සහභාගීත්වය තවමත් හැකි ප්‍රමාණයකට වඩා අවම මට්ටමක පවතින අතර, ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය පිරිමි සහභාගීත්වයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතියි. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ද කාන්තා ව්‍යවසායක දායකත්වය  අවම මට්ටමක පවතී.  එබැවින් මෙවැනි ප්‍රවේශයන්  ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරමින් මෙරට ශ්‍රම බලකාය තුළ පවතින ස්ත්‍රී – පුරුෂ පරතරය අවම කර ගැනීමට දායක වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *