Sinhala

Huawei, 9වෙනි ‘Seeds for the Future’ වැඩසටහන දියත් කරයි

Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී. 

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. මෙවර වැඩසටහනට තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සය දෙනෙකුද සිය දෙමාපියන් සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze සිය පිළිගැනීමේ කතාවේදී අවධාරණය කළේ, වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් 100කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට Seeds for the Future වැඩසටහනෙන් පන්නරයක් ලබා ඇති බවයි.

“මෙම වැඩසටහන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට Huawei හි අති නවීන තාක්‍ෂණය සහ ඒවායේ භාවිතයන් පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාකර දෙනවා පමණක් නොව චීන සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් දැකබලා ගැනීමටත් අවස්ථාව ලබා දෙනවා. මෙම කෙටි කාලීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, නැවත පැමිණෙන මේ සිසුන් ඔවුන් අලුතින් ලබාගත් දැනුම සහ අත්දැකීම් අන්අය සමඟ බෙදාහදා ගන්න නිසා, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් දක්වා යන ගමනට මෙම ක්‍රියාදාමය දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” ඔහු තවදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත තේරීපත්වූ සිසුන්ට සුබපැතුම් එක්කළ අතර චීනයේ Huawei හි මූලස්ථානයට ගොස් තමන් ලබා ගත අත්දැකීම් බෙදාහදා ගැනීමද මෙහිදී සිදුවිය. සිසුන්ට හිමිවීමට නියමිත මෙම අගනා අවස්ථාව පිළිබඳ ඔහු සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. “මට හිමිවූ අවස්ථාව මෙන් අවස්ථාවක් දැන් මේ ළමයින්ටත් හිමි වෙනවා. ඔවුන්ද චීනයට ගොස් Huawei සහ චීනය ICT මගින් ලෝකය මෙහෙයවන ආකාරය සියැසින්ම දැක බලා ගැනීමට යනවා. ඔවුන් 5G, AI, Digital Power සහ Cloud තාක්ෂණයන් පිළිබඳ කෙටි පාඨමාලා සඳහාද සහභාගී වනු ඇත. තාක්‍ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථාන වන ෂෙන්සෙන්, ෂැංහයි සහ බීජිං නැරඹීමට ලැබීම මෙම තරුණ දක්ෂයින්ට ලැබෙන මහඟු අවස්ථාවක්.”

අති නවීන තාක්ෂණයෙන් සහ ස්මාර්ට් නගර විසඳුම් වලින් සමන්විත Huawei හි නවීනතම පුස්තකාලය සහ ප්‍රදර්ශන ශාලාව නැරඹීමට ගිය අවස්ථාව පිළිබඳවද ආචාර්ය ප්‍රේමජයන්ත මෙලෙස සඳහන් කළේය. “පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා Huawei කරන කැපවීම ඔවුන් සිය ලාභයෙන් 40%ක් නවෝත්පාදනය සඳහා ආයෝජන කිරීම තුළින් මනාව පෙන්නුම් කෙරෙනවා. එය අපගේ තරුණ දක්ෂයින් ඉගෙන ගත යුතු දෙයක්. මෙවැනි මුල පිරීම් ශ්‍රී ලංකාව සහ Huawei අතර සහයෝගීතාව වැඩිදියුණු කරන බවට මට විශ්වාසයි. ඉදිරි වසරවලදී Huawei සමඟ තවත් බොහෝ සහයෝගිතාවයන් ඇතිවීමට නියමිත අතර ඒවා තුළින් අනාගත අවස්ථා සඳහා මංපෙත් විවර කෙරෙනු ඇත.”

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති H.E. Qi Zhenhong ද සිසුන් පිළිගැනීමට සහ සුබපැතුම් පිරිනැමීමට මෙම අවස්ථාවට සහභාගී විය. චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට මෙම වැඩසටහන මගින් වන දායකත්වය පිළිබඳව තානාපති ෂෙන්හොං සිය දේශනයේදී අවධාරණය කළේය.

“Huawei Seeds for the Future ව්‍යාපෘතිය 2016 සිට මේ වන තෙක් සිසුන් 100 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දෙමින් ICT ක්ෂේත්‍රයේ දක්ෂ තරුණ පිරිසක් බිහි කිරීමට සමත් වෙලා තිබෙනවා. මෙම වැඩසටහන චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට දායක වෙනවා පමණක් නොව, චීනයේ ගොස් එහි වූ නවීන තාක්‍ෂණයන් ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාවද ලබා දෙනවා.” ඔහු සඳහන් කළේය.

උසස් අධ්‍යාපන සංවර්ධන අංශයේ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ අතිරේක ලේකම් අප්සරා කල්දේරා, මෙම වැඩසටහනේ තෝරාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අතර සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළාය.”මෙම තෝරාගත් සිසුන් Seeds for the Future අරමුණු වලට ගැළපෙන උසස් ප්‍රමිතීන් සහ හැකියාවන්ගෙන් යුක්තයි. මෙම වැඩසටහන කැපවීම සහ ගෝලීය සහයෝගීතාවය තුළින් ලබාගත හැකි දේ පිළිබඳ කදිම සාක්ෂියක්.”

මෙවර Seeds for the Future වැඩසටහන සඳහා තේරී පත්වූයේ වයඹ විශ්වවිද්‍යාලයේ චමෝද් ප්‍රනාන්දු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රවීන් සුමනසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉසුරු සමරනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ අවිශ්ක චානුක, මොරටුව විශ්වවිද්‍යාලයේ සදීෂ සත්මිණ සහ තිසර ගුණවර්ධන යන අයයි.

චීනයේ පැවැත්වෙන මෙම වැඩසටහන දින 8 ක පුහුණු සැසියකින් යුක්ත වන අතර අති නවීන ICT තාක්ෂණයන්, විද්‍යාත්මක හා තාක්ෂණික නායකත්වය, ගෝලීය මාතෘකා පිළිබඳ සාකච්ඡා සහ Tech4Good කණ්ඩායම් ව්‍යාපෘති ආවරණය කරයි.

2008 දී තායිලන්තයේ දියත් කර 2016 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් Seeds for the Future වැඩසටහන ලොව පුරා රටවල් 139 කට සහ කලාප රැසකට ව්‍යාප්ත වී ඇති අතර සිසුන් 15,000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට සමත් වී ඇත. එය අනාගත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නායකයින්ගේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන Huawei හි වඩාත්ම සාර්ථක වැඩසටහන් වලින් එකක් වේ. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *