Pimp My Tuk Tuk 2025 ත්‍රී-රෝද රථ රැළිය ශ්‍රී ලංකාවේ කිලෝ මීටර් 1,350ක් ආවරණය කරමින් සාර්ථකව අවසන් කරයි

Mic
By Mic
6 Min Read

Pimp My Tuk Tuk Asia (PMTT Asia) විසින් තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දින හතක ත්‍රී-රෝද රථ රැළිය සාර්ථකව නිමාවට පත් විය. The Foundation of Goodness ආයතනය සමඟ එක්ව දිගුකාලීන ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම ත්‍රී-රෝද රථ රැළිය කිලෝමීටර් 1,350ක දුරක් සාර්ථකව ගමන් ගත් අතර විවිධ රටවල් නියෝජනය කරමින් ධාවකයන්, අනුග්‍රාහයන් සහ සමාජ සේවකයන් රැසක් ඊට එක් වී සිටියහ.2025 සැප්තැම්බර් 20 සිට 26 දක්වා පැවති මෙම වැඩසටහන සඳහා රටවල් 11ක් නියෝජනය කරමින් සහභාගීවූවන් 42ක් විවිධ තේමාවන් යටතේ සරසන ලද ත්‍රීරෝද රථ (tuktuk) යොදාගනිමින් ශ්‍රී ලංකාව පුරා ගමන් කළහ.

2017න් පසුව මෙරට තුළ සංවිධානය කරන ලද පළමු PMTT ත්‍රී-රෝද රථ රැළිය වූ මෙහි තේමාව වූයේ ‘ජීවිත ස්පර්ශ කරමින්, සැබෑ වෙනසක් සිදු කරමු’ (Touching Lives, Making a Real Difference) යන්නයි. සහභාගිවන්නන්ට වික්‍රමාන්විත අත්දැකීමක් මෙන්ම ප්‍රජාවන් සඳහා ධනාත්මක බලපෑමක් එක් කළ මෙම වසරේ වැඩසටහන, මෙතෙක් පැවැති වැඩසටහන්වලට සාපේක්ෂව ජනතාව වෙත ලඟා වීම, ඔවුන්ගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීම සහ ඔවුන් සමඟ සම්බන්ධ වීම ආදී කරුණු ඔස්සේ වඩාත් ආකර්ෂණීයම වැඩසටහන ලෙස කැපී පෙනුණි.

වෙනසක් උදෙසා ධාවනය, එක වරකට එක ගමක්

මීගමුවෙන් ආරම්භ වූ මෙම ත්‍රී-රෝද රථ රැළිය කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, වවුනියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, බණ්ඩාරවෙල, යාල, මාතර සහ ගාල්ල හරහා ගමන් කර අවසානයේ කොළඹින් නිමාවට පත් විය. අතරමඟදී, Foundation of Goodness විසින් මෙහෙය වන ලද සමාජ සුභසාධන වැඩසටහන් සඳහා ද ධාවකයන්ගේ දායකයත්වය ලබාදුන් අතර, පහත ව්‍යාපෘති සඳහා ද ඔවුන්ගේ සහය හිමිවිය.

  • පවුල් 1,500කට අධික සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා Reverse Osmosis Water Purification Plants ස්ථාපනය කිරීම.
  • දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම.
  • ගම්මානවල ඉගෙනුම් මධ්‍යස්ථාන හරහා කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් පැවැත්වීම.
  • මෙත් සේවා ව්‍යාපෘතිය සඳහා අඛණ්ඩ අරමුදල් සැපයීම ඇතුළුව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර සහ ඔවුන්ට අවශ්‍ය සත්කාර ලබා දීම.
  • අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන්ට පහසුවෙන් ළඟා වීමේ හැකියාව ඉහළ නංවමින් බයිසිකල් සහ උපකරණ ප්‍රදානය කිරීම.

සියලුම ධාවකයින් ඔවුන්ගේ ගමන්, නවාතැන් සහ ආහාර පාන ඇතුළු සියලු වියදම් පෞද්ගලිකව දැරූ බැවින් අනුග්‍රාහකයින්ගෙන් ලද අරමුදල් 100%ක්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යොමු කිරීමට හැකි විය.

කොළඹ Hatch හිදී පැවැත්වුණු සැමරුම් උත්සවය

ත්‍රී-රෝද රථ රැළියේ අවසන් දිනය කොළඹ Hatch හිදී පවත්වන ලද මාධ්‍ය හමුවක් සහ එකිනෙකා අතර සබඳතා වර්ධනය කරගැනීමේ උත්සවයකින් අවසන් කෙරිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන මධ්‍යස්ථානය වන Hatch ආයතනය, මෙම වැඩසටහනට ස්ථානීය පහසුකම් සහ සම සත්කාරකත්වය ලබා දුන්නේය. ගෝලීය පරිත්‍යාගශීලිත්වය දේශීය ප්‍රජාවන්ට සහාය වන ආකාරය පෙන්නුම් කරමින්, ධාවකයින්, අනුග්‍රාහකයින්, මාධ්‍යවේදීන් සහ දේශීය ව්‍යවසායකයින් රැසක් මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක්ව සිටියහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hatch ආයතනයේ සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා මෙසේ සඳහන් කළේය. “මෙවර Pimp My Tuk Tuk ත්‍රී-රෝද රථ රැළියේ අවසානය සඳහා සත්කාරකත්වය දැක්වීමට ලැබීම අපට ගෞරවයක්. Hatch හි අපගේ මෙහෙවර වන්නේ, දිගුකාලීන ධනාත්මක වෙනසක් ඇති කරන ප්‍රජාවන් ගොඩනැගීමයි. PMTT ද එම හැඟීම නියෝජනය කරන නිර්මාණශීලීත්වය, කැපවීම සහ සහයෝගීතාවය යොදා ගනිමින් ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කළ ප්‍රජා ව්‍යාපාරයක්. අර්ථවත් බලපෑමක් සහ අරමුණක් සහිතව පෙළගැසෙන සහයෝගීතාවය සමඟ ලඟා කර ගත හැකි දේ ප්‍රදර්ශනය කරන සුවිශේෂී ගමනක කොටසක් වීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා.”

මීට අමතරව, The Foundation of Goodness, Microsoft සහ Yahava KoffeeWorks යන ආයතනවල නියෝජිතයින් සහ PMTT හි ආරම්භක කණ්ඩායම ද මෙම අවස්ථාවේ දී සිය අදහස් ප්‍රකාශ කළේය. තවද, මාධ්‍ය හමුවෙන් පසු මාධ්‍යවේදීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් දේශීය ප්‍රජාව සමඟ සුහද පිලිසදරකට එක්වීමටත් සහභාගීවූවන්ට අවස්ථාව හිමිවිය.

මෙම වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් සැප්තැම්බර් 27 වන දින The Kingsbury හෝටලයේ දී පැවති භෝජන සංග්‍රහයේ දී වැඩසටහනේ සාර්ථකත්වය සහ ඒ පිටුපස ඇති සාමූහික ප්‍රයත්නය ඇගයීමට ලක් කෙරිණි.

සෑම පියවරකින්ම ශක්තිමත් වන ව්‍යාපාරයක්

2013 දී ආරම්භ කරන ලද Pimp My Tuk Tuk, මිතුරන් අතර පැවති කුඩා සුභසාධන වැඩසටහනක සිට යහපත සඳහා වන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. මෙය, 2013 වසරේ ඉන්දියාවේ සහ 2015 සහ 2017 යන වසරවල ශ්‍රී ලංකාවේ පැවති ත්‍රී-රෝද රථ රැළි මඟින් අමෙරිකානු ඩොලර් 850,000 කට වඩා වැඩි මුදලක් රැස් කර තිබේ. 2025 වසරේ දී පැවති වැඩසටහන මඟින් ජනතා සහභාගීත්වය සහ කල් පවතින ධනාත්මක බලපෑම අඛණ්ඩ වර්ධනය වෙමින් පවතී.

මෑත වසරවලදී ජීවිතයෙන් සමුගත් දිගුකාලීන සාමාජිකයින් දෙදෙනෙකුගේ මතකයට ගෞරව කිරීම මෙවර වැඩසටහනේ සංවේදීම අවස්ථාව විය. ඔවුන්ගේ මතකය මෙම ගමන පුරාවටම සිහිපත් කෙරුණු අතර ඔවුන් වැඩසටහනේ අරමුණ හා මිත්‍රත්වය තුළ ජීවමාන විය.

මෙහි සියලුම ව්‍යාපෘති දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, The Foundation of Goodness විසින් සෑම අනුග්‍රාහකයෙකුටම සහ දායකයෙකුටම ඒ පිළිබඳ නිසි තොරතුරු සපයනු ලබයි.

අඛණ්ඩ ගමනක්

කලාකරු Martin Tacchi විසින් නිර්මාණය කරන ලද විචිත්‍රවත් ත්‍රීරෝද රථ (tuk tuks) ඇතුළත් මෙම සවාරිය විවිධ වයස් කාණ්ඩ සහ වෘත්තීන්හි නියැලෙන ධාවකයින් ආකර්ෂණය කර ගත්තේය.  Microsoft, Yahava Koffee, Xylem Water Systems, Mobility in Motion, Reuzeit, Hatch, Destiny Energy, Whisky Cask Club, Djital Team, Rotary Club of Patong Beach, Triple T, Unique, Equinix, Reloc8 Property, Bowers Law, Simpson Spence Young, Freight Links, Singapore Sri Lanka Business Association යන ආයතනික අනුග්‍රාහකයින්ගේ සහ අනෙකුත් අයගේ නොසැලෙන සහයෝගය තුළින් 2025 ත්‍රී-රෝද රථ රැළිය, වික්‍රමාන්විත බව සහ අරමුණු අර්ථවත් ලෙස ඒකාබද්ධ කරමින් කටයුතු කරන ආකාරය මනාව පෙන්වා දුන්නේය.

Pimp My Tuk Tuk Asia ඉදිරි වැඩසටහන් සඳහා, ප්‍රජා ව්‍යාපෘති සඳහා දායක වීමට හෝ ඔවුන්ගේ කතාව බෙදා ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට හෝ හවුල්කරුවෙකුට ඔවුන් සමඟ එක්වන ලෙස PMTT ආරාධනා කර සිටී.

වැඩිදුර තොරතුරු, හවුල්කාරීත්ව විමසීම් හෝ මාධ්‍ය විස්තර සඳහා: PMTT Asia – [email protected] | www.pmttasia.com

Share This Article