මෙය ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන එකාබද්ධ මාධ්‍ය නිවේදනයකි

ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පාසල් 32ක් අතරින් සිසු සිසුවියන් 170 දෙනෙකු ඇගැයීමට ලක්විය. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සිදුවන මුහුදු සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම සහ නීති විරෝධී ලෙස බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පැමිණිමට උත්සාහ කිරීමේ නිෂ්ඵලත්වය පැහැදිලි කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණ විය. එසේම මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණු කිරීම හරහා යහපත් අනාගතයක් නිර්මාණය කර දීමේ ඕස්ට්‍රේලියානු රජයේ දායකත්වය මෙම වැඩසටහන හරහා සමාජගත කරන ලදී.
පසුගිය ජුනි සිට අගෝස්තු දක්වා කාලසීමාව තුළ පැවැති මෙම රචනා හා චිත්‍ර තරගාවලිය සඳහා පාසැල් සිසු සිසුවියන් 1520කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය. “නොරැවටෙමු නොවරදීමු” (“Norawatemu Novaradimu”) යන තේමාව මුල් කරගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිය නිර්මාණශිලි හැකියාවන් හා චින්තන කුසලතාව මැනවින් ප්‍රදර්ශනය කරන ලදී. 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාත් 12 සිට 13 ශ්‍රේණි වශයෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය සංවිධානය කරන ලද අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නම් කරන ලද 14 දෙනෙකුගෙන් සමන්විත දක්ෂ විනිසුරු මණ්ඩලයක් විසින් මෙහි ඇගැයීම් කටයුතු සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. “මෙය හුදෙක් රචනා හෝ චිත්‍ර තරගයක් ලෙස නොව අනාගත නායකයන්, චින්තකයින් හා සමාජ මත නිර්මාණකරුවන් හඳුනාගැනීමේ වේදිකාවක් ලෙස සැළකිය හැකියි. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සිදුවන සංක්‍රමණන් නැවැත්වීමට, දේශසීමා ආරක්ෂා කිරීමට හා අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේදී මතුවන ජීවිත අවදානම වැළැක්වීමේ අරමුණින් දේශසීමා හමුදා ආරක්ෂක මෙහෙයුම් වැඩසටහනක් වන “Operation Sovereign Borders” ආරම්භ කර තිබෙනවා. එහි සාර්ථකත්වය රඳාපවතින ප්‍රධානම වැඩසටහන වනුයේ මෙම Zero Chance දැනුවත් කිරීමේ වැඩසටහනයි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තරගාවලිය කෙරෙහි දැක් වූ උනන්දුව ප්‍රශංසනීයයි. මේ සඳහා ඔවුන් උනන්දු කළ අධ්‍යාපන අමාත්‍යාංශයට , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුවන් මෙන්ම සියලුම විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන් වෙනුවෙන් මම ස්තුතිය පළ කරනවා.”
තවදුරටත් අදහස් දැක්වු ස්ටීවන්ස් මහතා ‘’අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නම් කරන ලද ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයෙන් තරගකරුවන් ඇගැයීම සිදුවුණා. පාසල් සිසු සිසුවියන් විසින් දක්වන ලද කුසලතාව තුළින් අවබෝධ වූයේ ඔවුන් මෙහි සංකල්පමය යථාර්ථය අවබෝධ කර ගෙන තිබෙන බවයි. “නොරැවටෙමු නොවරදීමු” තේමාව පිළිබඳව ඔවුන්ගේ දැනුම හා බුද්ධිය මම ඇගැයීමට ලක් කිරීමට කැමතියි.”
නියෝජ්‍ය මහ කොමාසාරිස් ලලිතා කපූර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාව පිළිබඳව අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” ඕස්ට්‍රේලියාව හා මෙරට රජය එක්ව ක්‍රියාත්මක කරනු ලබන විවිධ ක්‍රියාකාරකම් අතර ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙම චිත්‍ර හා රචනා තරගය සහ ඒ හරහා සමාජය දැනුවත් කරමින් මෙවැනි අයෝග්‍ය ක්‍රියාවන්වල අනිටු ඵල විපාක පිළිබඳ තොරතුරු හා යථාර්ථය පහදා දීම ඉතා ඵලදායී හා ප්‍රශංසනීය කර්තව්‍යයක්.”
‘’ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි” යන තේමා පාඨය යටතේ දිස්ත්‍රික්ක 15ක පාසල් සිසුන් වෙනුවෙන් 2023 වසරේ දී පළමුවරට මෙම රචනා හා චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථක පැවැත් වූ අතර එහි ජයග්‍රාහකයින් වෙනුවෙන් ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පරිගණක පාඨමාලා ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදුකරන ලදී. මෙහි සාර්ථකත්වය මත 2024 වසරේ මෙහි දෙවන අදියර ආරම්භ විය. මෙමඟින් මෙරට තරුණ පරපුරේ ඉදිරි කුසලතා වර්ධනය කිරීමට මඟ පාදනු ලබයි.
මෙහිදි සියලුම තරග ජයග්‍රාහකයන් වෙත ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් යන මහත්වරුන්ගේ අත්සන සහිත සහතික පත්‍රයක් ප්‍රදානය කරන ලදී. එසේම සුවිශේෂි දක්ෂතා දැක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හා හැකියාවන් තවදුරටත් ඔප් නැංවීම අරමුණ කරගනිමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පවත්වනු ලබන පාඨමාලාවන් හි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද මෙහිදි සිදුවිය. රචනා තරගයේ ජයග්‍රාහකයන් වෙත මූලික පරිගණක යෙදුම් භාවිතය පිළිබඳව පාඨමාලාවක් ප්‍රදානය කරන ලද අතර, චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් සඳහා මූලික ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳව පාඨමාලාවක් ප්‍රදානය කරන ලදී.
ඕස්ට්‍රේලියානු රජය, නීති විරෝධී මුහුදු සංක්‍රමණය පිටුදැකීමට කටයුතු කරන අතරම මෙරට තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික දැනුම හා කුසලතා සංවර්ධන කිරීමට කැප වී කටයුතු කරනු ලබයි. නිත්‍යානුකූලව සංක්‍රමණයවීමේ නිවැරදි මාර්ගෝපදේශනය ලබා දීමත්, දීප්තිමත් හා සාර්ථක අනාගතයක් නිර්මාණය කර දීමත් මෙහි මූලික අරමුණයි. ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.australia.gov.au/zerochance වෙත පිවිසෙන්න.
Recent Comments