Sinhala

SLASSCOM Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ වේ

දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වනුයේ, ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ ඇගයීමයි. 

මෙවර සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී ඇති අතර,  2021 පෙබරවාරි 14 දින දක්වා අයදුම් කළ හැකිය. සියලුම අයදුම්කරුවන් හට www.slasscom.lk/ia  වෙබ් අඩවියට පිවිස මේ පිළිබඳ අවශ්‍ය වැඩිදුර විස්තර ලබාගත හැකිය. 

විවිධ වයස් කාණ්ඩ, විවිධ මට්ටම් සහ ප්‍රමාණයේ ව්‍යාපාර, විශ්ව විද්‍යාල සහ පාසල් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය වන අන්දමින් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙල මඟින් නවෝත්පාදන සහ නව්‍යකරණයන් හඳුනගෙන ප්‍රතිලාභ ලබා දීම සිදු කරයි. පුද්ගල මට්ටමෙන්, ආයතනික මට්ටමෙන් හෝ පාසල් සහ විශ්ව විද්‍යාල සඳහා මෙම තරඟාවලියට  සහභාගී විය හැකිය. ඒ  තුළින්, ජයග්‍රාහකයින් හට  සිය නවෝත්පාදනයන් ඊළඟ මට්ටමට රැගෙන යාමට අවශ්‍ය කරන ප්‍රාග්ධන සම්පත් සඳහා ප්‍රවේශය,  ඊට අදාළ උපදේශකත්වය සහ කර්මාන්ත ප්‍රවීණයින් ගේ මඟපෙන්වීම හිමි වීම සුවිශේෂී වේ. 

මේ පිළිබඳ අදහස් දක්වමින් SLASSCOM ව්‍යවසායකත්ව හා නවෝත්පාදන සංසදයේ මාණ්ඩලික සාමාජික අනුර ඩී අල්විස් මහතා මෙසේ පවසා සිටියි . “මෙම තරඟාවලිය හරහා ශ්‍රී ලංකාව තුළ සිටින තොරතුරු තාක්ෂණ/බීපීඑම් කර්මාන්තයේ දක්ෂතම නවොත්පදකයින් හඳුනා ගැනීම සිදු කරනවා. මේ හරහා නව ආරම්භක ව්‍යපාර දහස් ගණනක්  හඳුනා ගැනීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනා හට SLASSCOM Startup Accelerator හරහා සිය සිහිනයන් යථාර්තයක් බවට පත් කරගැනීමට දොරටු විවෘත වනවා”.  

 ‘Island of Ingenuity’ සංකල්පය යටතේ සංවිධානය කෙරෙන මෙම වසරේ සම්මාන උලේළ, ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන අන්දමින් පවත්වන අතර, එම සියලුම පළාත් තුළ සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙහි ප්‍රථමික අදියරයන් පළාත් මට්ටමින් ආරම්භ වී ජාතික මට්ටමේ තරඟාවලියක් දක්වා විහිද යයි.  මෙහි අවසාන ප්‍රධාන සම්මාන උළෙල 2021 මාර්තු 30වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් SLASSCOM හි ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වූ මාණ්ඩලික අධ්‍යක්ෂ හරිඳු අබේගුණරත්න මහතා මෙසේ පවසා සිටියි.  “කිසිඳු භූගෝලීය බාධකයකින් තොරව, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකය නංවාලීමට සහ රටේ සෑම පළාතක් මඟින්ම ආර්ථිකයට සිදු කරන දායකත්වය වර්ධනය කිරීම සඳහා  අවශ්‍ය කරන ප්‍රධානතම සම්පත වන ව්‍යවසායකයින් අප හඳුනා ගැනීම අපේ ප්‍රධාන බලාපොරොත්තුවයි”. 

 මෙම වසරේ සම්මාන උළෙල සඳහා විශ්ව විද්‍යාල සහ පාසල් සඳහා වූ සම්මාන ඇතුළුව ආකර්ෂණීය සම්මාන කාණ්ඩ රැසක් ඇතුළත් වේ. ඒවා නම්,  හොඳම නිෂ්පාදන නවෝත්පාදනය, හොඳම සේවාලාභී බෙදාහැරීමේ නවෝත්පාදනය, හොඳම තාක්‍ෂණ නව්‍යකරණය, ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණයේ හොඳම නවෝත්පාදනය, අභ්‍යන්තර ක්‍රියාවලීන්හි හොඳම නවෝත්පාදන, හොඳම ආරම්භය, වසරේ නැඟී  එන කාන්තා තාක්ෂණ ව්‍යවසායිකාව, හොඳම නවෝත්පාදන නිෂ්පාදන / ව්‍යාපෘතිය – විශ්ව විද්‍යාල, හොඳම නව්‍ය නිෂ්පාදන / ව්‍යාපෘතිය – පාසල් වේ.  (Best Product Innovation, Best Client Delivery Innovation, Best Technology or Framework Innovation, Best Innovation in Business Process Management, Best innovation in Internal Processes, Best Startup, Upcoming Woman Technopreneur of the Year, Best Innovative Product/Project – Universities, Best Innovative Product/Project – Schools.)

වසරේ නැඟී  එන කාන්තා තාක්ෂණ ව්‍යවසායිකාව සඳහා වූ සම්මානය පිළිබඳ අදහස් දක්වමින් WTech Forum හි මාණ්ඩලික අධ්‍යක්ෂ ෂෙහානි සෙනවිරත්න මහත්මිය මෙලෙස පවසා සිටියි . “ඩිජිටල් ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.  මෙම සම්මාන උළෙල හරහා කාන්තා ව්‍යවසායකයින්ට සිය සිහිනයන් යථාර්තයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය සියලුම සහයෝගය හිමි වේ”.

මෙම සම්මාන උළෙලේ ඇගයීමේ ක්‍රියාවලිය IT/BPM ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති, ප්‍රවීණ සහ කීර්තිමත් විනිසුරු මණ්ඩලයක් විසින් සිදු කරයි.  මෙවර ජාතික සම්මාන උළෙල සඳහා අනුග්‍රහකන් වන්නේ  MilleniumIT ESP (Strategic sponsor) Dialog Axiata PLC (Corporate sponsor) සහ Hatch (Startup Eco-system partner)

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *