Sinhala

ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන Spiralation 2021 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)   සිය නව තාක්ෂණ ව්‍යාපාර  සහයෝගිතා වැඩසටහන Spiralation සඳහා නවවන වරටත් අයදුම්පත් කැඳවයි.

Spiralation වැඩසටහන් මාලාව මේ වන විට සෞඛ්‍ය, මූල්‍ය, කෘෂිකාර්මික, අධ්‍යාපනය සහ සැපයුම් ඇතුළු විවිධ කර්මාන්ත  90 කට වැඩි සංඛ්‍යාවක් සඳහා  සහාය ලබා දී ඇති අතර රැකියා අවස්ථා 500 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය  කර ඇත.

ICTA නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන Spiralation 2021 මගින් ආධුනික ව්‍යවසායකයන් සඳහා ව්‍යාපාර විශේෂඥයන් විසින් සපයනු ලබන පුළුල් තාක්‍ෂණික හා ව්‍යාපාරික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව උදා වේ.

2010 දී ආරම්භ කරන ලද Spiralation වැඩසටහන, Incubator සහ Accelerator ලෙස ක්‍රියා කරමින් නව්‍ය ව්‍යාපාර ආරම්භක අවධියේ සුරක්ෂිත කිරීම සහ වර්ධනය කිරීම සිදු කරයි. Spiralation වැඩසටහන මගින් මිලියන 1.5ක මුදලක් ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායකයන් වෙත ලබා දෙන අතර එමගින් ශ්‍රී ලංකාව තුළ තාක්‍ෂණික ප්‍රවේශයන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීම සහ සහාය දීම අරමුණු කර ගෙන ඇත.මෙම වැඩසටහනට සම්බන්ධ වන ව්‍යවසායකයන් හට අඛණ්ඩ සහාය Incubator/ Accelerator සංචිතයෙන් ලැබෙනු ඇත.

ව්‍යවසායකයන් හට  දේශීය හා විදේශීය වෙළඳපල වෙත පිවිසීමට Spiralation මගින්  පහසුකම් සපයයි. එමෙන්ම ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන අතරම  ඔවුන්ගේ ව්‍යාපාර මහා  පරිමාණ ව්‍යාපාර දක්වා දියුණු කිරීමටද  සහයෝගය ලබා දෙයි.

ගුණාත්මක අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සහ යහපැවැත්ම, බැංකු හා මූල්‍ය සේවා, විලාසිතා සහ ඇඟලුම් සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර සඳහා Spiralation හි සහාය ලැබූ බොහෝ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක   ව්‍යාපාර මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.

Spiralation වැඩසටහනට සුදුසුකම් ලැබීමට නම්, අදාළ නව්‍ය තාක්ෂණික ව්‍යාපාරය www. startupsl.com වෙබ් අඩවියේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වේ. ලියාපදිංචි කළ  හෝ ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන නව්‍ය තාක්ෂණික ව්‍යාපාර සඳහා ද  අයදුම් කළ හැකි අතර වසර 3 ට අඩු (අයදුම් කරන දිනය වන විට වසර 3ට අඩු විය යුතුය)  ලියාපදිංචි සමාගම් ද සුදුසුකම් ලබයි. සියලුම අයදුම්පත් https://spiralation.com හි ලියාපදිංචි කිරීමේ පෝරමය මගින් ඉදිරිපත් කළ යුතු අතර වෙනත් ක්‍රමයකින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් භාරගනු නොලැබේ.

අයදුම්පත් භාර ගැනිම    මැයි 10 වන දින දක්වා විවෘතව පවතින අතර උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට https://spiralation.com හරහා ලියාපදිංචි විය හැකිය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ “නව්‍ය තාක්ෂණික ව්‍යාපාර  පද්ධති සංවර්ධන” (Startup Ecosystem Development) උපායමාර්ගික ව්‍යාපාර ඒකකය තුළ Spiralation සහ අනෙකුත් නව්‍ය තාක්ෂණික ව්‍යාපාර  ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින්  නව්‍ය තාක්ෂණික ව්‍යවසායකයින්  සඳහා සහාය ලබා දීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA )පුරෝගාමී වේ.එය ආරම්භ කර ඇත්තේ රට තුළ නව තාක්‍ෂණික ව්‍යවසායක වැඩසටහන් ආරම්භ කිරීම, නව්‍ය තාක්ෂණික ව්‍යාපාරයන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මුල් අවධියේ අරමුදල් සැපයීම සහ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම  ලබා දීමේ අරමුණින් ය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *