ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර  ඉහළ නැංවීම වෙනුවෙන් Varian සහ DIMO Healthcare සහයෝගීතාවයෙන් සම්මන්ත්‍රණයක්

Mic
By Mic
4 Min Read

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර  වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන  Varian සමඟ එක්ව  පසුගියදා  ‘The Varian Technology Symposium’ නමින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. 

මෙරට පිළිකා රෝග ප්‍රතිකාර තුළ උසස් විකිරණ චිකිත්සක තාක්ෂණයේ ප්‍රධාන කාර්යභාරය ඉස්මතු කර දැක්වීම සහ ඒ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයේ මූලික පරමාර්ථය වූයේ  ඵලදායී පිළිකා ප්‍රතිකාර පිළිබඳ පහසුකම්  වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ක්‍රමවේදයන්හි ප්‍රමිතිය ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා කිරීමයි.

ඉන්දියාවේ ජායිපූර්හි නාරායන රෝහලේ Radiation Oncology අංශයේ  අධ්‍යක්ෂ වෛද්‍ය නිධි පට්නි මහත්මිය මෙම සම්මන්ත්‍රණය අමතමින්, ශ්‍රී ලංකාව තුළ පිළිකා ප්‍රතිකාරක වැඩි දියුණු කිරීමට උසස් විකිරණ ප්‍රතිකාර විසඳුම් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළාය.

විකිරණ තාක්ෂණයේ නවතම දියුණු ක්‍රමවේදයන් ගවේෂණය කිරීමේ කදිම වේදිකාවක් ලෙස මෙම Varian Technology සම්මන්ත්‍රණය හැඳින්විය හැකිය. දිවයින පුරා සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 40කට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාව සමඟ එක්ව සිටි අතර එහිදී ලොව පුරා පිළිකා සත්කාර සඳහා භාවිත වන නව තාක්ෂණික පහසුකම් පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඔවුන් වෙත ලබාදෙන ලදී.  පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය මෘදුකාංග, යන්ත්‍ර, දත්ත සහ සත්කාරයන් ලබාදෙන Varian, “radiation oncology” අංශයේ ලොව ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හැඳින්විය හැකි අතර එම නිෂ්පාදනයන් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින විශ්වසනීය නියෝජිතයා ලෙස  DIMO Healthcare කටයුතු කරයි.

උසස් පිළිකා ප්‍රතිකාර ක්‍රම ලෙස බොහෝ රටවල් මේ වන විටත් දියුණු LINAC පද්ධති ස්ථාපිත කිරීම සහ වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා ඇති හැකියාවන් පිළිබඳ අවධානය යොමු කිරීම මෙම සම්මන්ත්‍රණයේ දී  විශේෂ අවධානයට ලක්විය. විශේෂයෙන්ම සම්පත් සීමිත සැකසුම් තුළද, නවීන LINAC පද්ධති සැලසුම් කිරීම සහ  ස්ථාපනය කිරීම  පහසු අතර එය සැලකිය යුතු ප්‍රතිලාභයන් අත්කර දෙයි. එබැවින් මෙම තාක්ෂණයන්  ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර ප්‍රමිතිය ඉහළ නැංවීම මෙන්ම රෝගීන් සුව කිරීම යන දෙඅංශයම වැඩිදියුණු කිරීම කෙරෙහි බෙහෙවින් ඉවහල් වේ.

ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරවල ගුණාත්මකභාවය සඳහා ඇති හැකියාවන් පුළුල් කිරීමට විකිරණ  ප්‍රතිකාරයේ දියුණුව උපයෝගි කරගත හැකි ආකාරය පිළිබඳ අදහස් පළ කරමින් විශේෂඥයන් විසින් , ‘Innovations in Radiation Technology for Accessible and Efficient Cancer Care’ යන තේමාව යටතේ සංවාදයක් ද මෙහිදී පවත්වන ලදී.

දේශීය වෛද්‍ය වෘත්තිකයන් දැනුවත් කිරීම වෙනුවෙන් දියත් කරන ලද මෙම සම්මන්ත්‍රණයේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් මෙහිදී  DIMO හි විධායක අධ්‍යක්ෂ සහ DIMO Healthcare අංශය  අධීක්ෂණය කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ ප්‍රකාශ  කළේය. “මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් උසස් විකිරණ ප්‍රතිකාර විසඳුම් පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණයි. මෙවැනි ප්‍රවේශයන් ඔස්සේ නිරෝගීමත් ජාතියක් ගොඩනැගීම සහ අපගේ ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගැන්වීම අපගේ මූලික පරමාර්ථයයි.”

මෙම සම්මන්ත්‍රණයේ Varian නිෂ්පාදන විශේෂඥයන් විසින් සිය විකිරණ ප්‍රතිකාර විසඳුම්වල සරල බව, කාර්යක්ෂමතාවය සහ සැලසුම පැහැදිලි කරමින් මෙහෙයවන ලද තාක්ෂණික සාකච්ඡා කිහිපයක් ද අන්තර්ගත වූ අතර ඒ  ඔස්සේ ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරවල අනාගතය පිළිබඳ සාකච්ඡාවන්  තවදුරටත් ඉහළ නැංවිණි.

වර්තමානය වන විට ජාතික පිළිකා ආයතනයේ අපේක්ෂා රෝහල,, ආසිරි ශල්‍ය රෝහල (කොළඹ 5) සහ සෙලින්කෝ පිළිකා රෝග මධ්‍යස්ථානය (කොළඹ 2) වැනි ශ්‍රී ලංකාවේ බොහෝ පිළිකා ප්‍රතිකාර ආයතන සඳහා Varian තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා. පුහුණුලත් ඉංජිනේරුවන් රැසකින් සමන්විත සේවා කණ්ඩායමක්  DIMO Healthcare සතු වන අතර ඒ ඔස්සේ උසස් මෙන්ම ගුණාත්මක  අලෙවියෙන් පසු සේවාවක් ලබාදෙයි.

අඛණ්ඩව දශක හතක් පුරා සාර්ථකව පවත්වාගෙන පැමිණි  Siemens Healthineers සහ DIMO Healthcare හවුල්කාරිත්වය තුළින්  විශ්වසනීය මෙන්ම සහයෝගී පදනමක් ගොඩනැගී ඇති අතර එය Siemens Healthineers විසින් ශ්‍රී ලංකාවේ Varian බෙදාහැරීම් නියෝජිතයා ලෙස DIMO Healthcare පත් කිරීමට මූලික සාධකය වී තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සමඟ නවෝත්පාදනයන් සහ නව දැනුම බෙදාගැනීමට DIMO Healthcare සහ Varian සිය සහයෝගීතාවය තුළින්  කැපවී සිටින අතර ඒ ඔස්සේ පිළිකා ප්‍රතිකාර සිදුකිරීමේ නවතම දියුණු තාක්ෂණයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වෙනු ඇත.

Share This Article