Sinhala

ලියෝදහම තුළින් නව ලොවක් කරා

සංවර්ධනය, නව තාක්ෂණය, නවෝත්පාදනය සමග වඩා උසස් ලොවක් කරා යන අප කෙරෙන් අතීතයේ පටන් පැවත ආ අප රැකගත් සාරධර්ම, මොහොතින් මොහොත වියැකී ක්ෂය වී යන බව නො රහසකි. එදිනෙදා ක්‍රියාකරකම් හේතුවෙන් අතිශය කාර්යබහුල වීම නිසා අගහිඟකමින් පීඩිත, සරණක් අවැසි අයවලුන් දිගුකරන දෑත අප විසින් නොසලකා හරින බව ඔබ දන්නවා ද? සියලු මනුෂ්‍ය  වර්ගයා කිසියම් අරමුණක් සාක්ෂාත් කිරීම වෙනුවෙන් මෙලොවට බිහිවන බව අපි තරයේ විශ්වාස කරමු. අප අතරින් ඇතැමෙක් මේ දිවියේ අරමුණ සොයා වටහා ගෙන ඇතිවාක් මෙන්ම ඇතැමෙක් එසේ නොමැත. අනෙකා හඹා යමින් එකිනෙකා පරයා සාර්ථකත්වය කරා දිව යන ගමනේ තරඟකරුවන් වී සිටින අපට කුඩා විවේකයක දී  හෝ “මේ දිවියේ අරමුණ කුමක් ද?” යන්න සිතීමට පවා සිහි නොවන බව අකැමැත්තෙන් හෝ පිළිගත යුතු වන්නේම ය.

ඔබ ඉපැයූ මුදල්, ඔබ ලැබූ ප්‍රසිද්ධිය හෝ ඔබ පැතිරවූ බල පරාක්‍රමය යන කිසිවක් ඔබේ මරණ මංචකයේ දී ඔබට සිහි නොවනු ඇත. ඔබට සිහිවනු ඇත්තේ ඒ සියල්ල මිත්‍යාවක්ම  බව ම පමණි. ඔබ ලැබූ සාර්ථකත්වය සේම ඔබට වැදගත් විය යුතු වන්නේ ඔබ විසින් අන් අයගේ ජීවිත තුළ ඇති කළ බලපෑමයි. අවසන එය ඔබ මෙලොව නිෂ්ඵලව ගත නොකළ බවත්, අන් ජීවිතවලට සතුට සැනසුම ගෙන දෙමින් නැවුම් ලොවක් තැනීමට දායක වූවෙක් බවත් සිහිපත් වන සැනසුම් සිතිවිල්ලම වනු ඇත. එක ඔබේ දිවිය ආලෝකවත් කිරීමට මං පෙත් විවර කරනු ඇත.

ලියෝ දහම ද එසේ අන්ධකාරයෙන් ආලෝකයට මං පෙත් විවර කරන තෝතැන්නකි. ලියෝ දහම යනු කුමක් ද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නායකත්ව වර්ධනය, සේම බොහෝ අවස්ථාවන් සොයා සාක්ෂාත් කරගැනීමට බිහි වී ඇති වේදිකාව ලියෝ දහම ලෙස අපි හඳුන්වමු. ලියෝ සාමාජිකයන් යනු සමාජය තුළ වෙනසක් සිදුකරන, ඊට ආශාව සහ කැමැත්ත ඇති තරුණ ප්‍රජාවකි. ශ්‍රී  ලංකාව ද මේ වනවිට එසේ සමාජ දායකත්වය, සේවය ලබා දෙන ලියෝවරුන් 8,500 ගෙන් සමන්විත ය.

ලියෝවරුන් ලෙස අප සෑම විටම එකම පවුලක් ලෙස අත්වැල් බැඳ ගනිමින් සැමට ජීවත්වීමට අවැසි සාධාරණ, ආරක්ෂිත සහ තිරසර සමාජයක් බිහි කිරීමට දායක වී සිටින්නෙමු. බාධක බිඳලමින්, නිර්භය ව අභියෝගයන්ට මුහුණ දෙමින්, ජය ගනිමින් අප ශක්තිමත් ව ඉදිරියට ගමන් කරන්නෙමු. ලෝකය තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීමෙහි ලා කටයුතු කිරීමේ සාඩම්බර කොටස්කරුවන් අතර ලියෝවරුන් ද සිටින බව අවිවාදයෙන් ම පිළිගත යුත්තකි.

ශ්‍රී  ලංකාව තුළ ලියෝ සමාජ ආරම්භය 1969 දක්වා අඩ සියවසකටත් එපිටට දිව යයි. ඒ, මෙරට පළමු ලියෝ සමාජයේ ආරම්භය සනිටුහන් කරමිනි. එසේ ඇරඹුණු ලියෝ දහම මේ වනවිට සිංහ බහුමණ්ඩල දිස්ත්‍රික්ක  306 හරහා පාලනය වෙමින් ලියෝ බහුමණ්ඩල දිස්ත්‍රික්ක  306 යටතේ ලියෝ දිස්ත්‍රික්ක  6 ක් ලෙස ව්‍යාප්තව ක්‍රියාත්මක  වෙමින් පවතී.

සමාජයට සේවයක් සිදුකිරීමේ අරමුණෙන් ශ්‍රී  ලංකාව තුළ වසරකට නව සාමාජිකයන් අධික සංඛ්‍යාවක්  ලියෝ දහමට එක් වෙයි. 2020 වසරේදී ද දැනට මුහුණ දෙමින් සිටින දරුණු වසංගත තත්ත්ව කාල සීමාවක් තුළ වුව ද නවක සාමජිකයන් 2,500 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී  ලාංකීය ලියෝ සමාජයන්ට එක් වීමෙන් එය මොනවට පැහැදිලි වේ.

නැගී එන තරුණ ජවයට උරදෙමින් අලුත් ලොවක් බිහි කිරීමට නිරන්තර අතහිත දෙන ලියෝ දිස්ත්‍රික්ක බහුමණ්ඩලය විසින් වාර්ෂිකව විවිධ අවස්ථා, සුහද හමු, පා ගමන් මෙන්ම නායකත්ව ගුණාංග තව තවත් වැඩිදියුණු කිරීමට අවැසි වැඩමුළු ද සංවිධානය කරමින් ශ්‍රී  ලංකාව තුළ ලියෝවරුන් අතර එකමුතුව, සහයෝගීතාවය හා සහෝදරත්වය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව කිවයුතුම ය.

ශක්තිමත් සාමාජිකත්වය සමග නොවෙනස් ව ඉදිරියට යාමට දිරිගැන්වීම්, අගය කිරීම හා පිළිගැනීම් අත්‍යවශ්‍යය. එසේ සමාජය කෙරෙහි ලියෝවරුන් විසින් ලබාදෙන සේවයන්, සංවිධානය වන ව්‍යාපෘතීන්  හා ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අගය කරමින් වාර්ෂිකව ලියෝ දිස්ත්‍රික් බහුමණ්ඩල සමුළුව සංවිධානය කරනු ලබයි. එය ලියෝවරුන් ගෙ අප්‍රතිහත  ධෛර්යය, කැපවීම හා අධිෂ්ඨානය ඇගැයීමට ලක්වන අවස්ථාවක් බව කිවමනා ය.

සමාජය තුළ වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් විවිධාකාරයේ සේවා ව්‍යාපෘතීන්  දිවයින පුරා දියත් කරමින් ශ්‍රී  ලාංකීය ලියෝවරුන් වෙහෙස වී ක්‍රියාකොට උපයන්නේ කුමක්දැයි ඔබ සිතනු ඇත. ඒ, සෙනෙහසේ දෑත අවැසි ජනයා වෙනුවෙන් තම දෑත දිගුකොට එම ජීවිත නගා සිටුවීමෙන් ලබන තෘප්තිය බව සඳහන් කළ යුතු ය. හැකි පමණින් සරණක් අවැසි පීඩිත ජීවිත නගා සිටුවීමට හැකිවීමෙන් අප ලබන ආත්ම තෘප්තිය වෙනත් කිසිවකට සමකළ නොහැක. එසේම, එය තවත් අයෙකුට දෙනු ලබන උපකාරය කෙතරම් වැදගත් ද යන්න අපට පසක් කරවයි. තිරසර සමාජයක් උදෙසා යන ගමනේ තම දායකත්වය තව තවත් ලබාදීමට එය ශ්‍රී  ලාංකීය ලියෝවරුන්ට ලැබෙන මනා උත්තේජනයක් ම වන්නේ ය.

ලියෝ සාමාජිකයන් ලෙස අප මින් උකහා ගනු ලබන්නේ සමාජ සේවය පමණක්ම නොව, කුසලතා සංවර්ධනයට විවර වන මාහැඟි අවස්ථාවයි. නායකත්ව ගුණාංග වර්ධනය මෙන්ම සන්නිවේදන කුසලතා වැඩිදියුණු කරගත්, දැනුමෙන් පොහොසත් තරුණ ප්‍රජාව  ශ්‍රී  ලාංකීය සමාජයට දායාද කිරීම ලියෝ දහමේ අරමුණයි. එය ශ්‍රී  ලාංකීය තාරුණ්‍යයේ සාර්ථකත්වයට මංපෙත් විවර කරන තෝතැන්නක් වන්නේ එබැවිනි.

මෙම ගමනේ දී මුහුණදෙන බිඳවැටීම්, අසාර්ථක වීම් මෙන්ම අසමත් වීම් ද අප ලියෝ සාමාජිකයන් ලෙස තව තවත් ශක්තිමත්ව නැගී සිටීමට පන්නරයක් වනු ඇත. ඒ සියල්ල අපට තවත් අවස්ථාවක් උදා කරන්නාක් සේම නොසැළී ඉදිරියට යාමට අත්වැලක්ම වන්නේ ය.

ලෝකයේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය වන ලියෝ සමාජය, සමාජයට සේවයක් කිරීමේ අද්විතීය අරමුණෙන් ක්‍රියාත්මක වේ. මනා ගුණාංගයන්ගෙන් පිරිපුන් තරුණ ජවය ලොවට දායාද කරන ලියෝ දහම හා එක්වී පියවරෙන් පියවර සොඳුරු ලොවක් ගොඩනැගීමට ලියෝවරුන් ලෙස අප හා එක් ව පියමනින්නට සහෝදරත්වයේ දෑත් අප මෙලෙස දිගුකොට ඔබට ආරාධනා කරමු.

ලියෝ විනුරි සෙට්ඨිනායක

Voice of Leos Team

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *