Sinhala

හේමාස් කන්සියුමර්, L’Oréal සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන හා බෙදාහැරීම් සමාගමක් වන හේමාස් කන්සියුමර් ලොව අංක එකේ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන L’Oréal සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වයත් සමඟ හේමාස් කන්සියුමර්හි  පුළුල් බෙදාහැරීමේ ජාලයත්, නව්‍ය අලෙවිකරණ ප්‍රවේශයත් ඔස්සේ  L’Oréal සන්නාමය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට හැකියාව හිමිවේ. 

වර්තමානයේ ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පාරිභෝගික දැනුවත්භාවය ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් පාරිභෝගිකයින් විසින් එදිනෙදා භාවිත කරන රූපලාවණ්‍ය හා පුද්ගලික සත්කාර අංශයේ වෙළඳ නාමයන් පිළිබඳව ඔවුන් තුළ  ඇති අවබෝධය එම භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුමේ විශාල වෙනසක් සිදුකර ඇත.  පාරිභෝගිකයින් විසින්  හිතකර හා උසස් තත්ත්වයේ විශ්වාසදායී සන්නාමයන් වෙත යොමු වීමේ විශාල ප්‍රවණතාවයක් වර්තමානයේ පවතින අතර, හේමාස් කන්සියුමර් වසර ගණනාවක සිට  ශ්‍රී ලාංකේය වෙළඳ පොළ තුළට විශ්වාසනීය නිෂ්පාදන සැපයීමේ ප්‍රමුඛයින් ලෙස ක්‍රියා කරයි.

මෙම හවුල්කාරීත්වය හරහා, ලොව පුරා පාරිභෝගික විශ්වාසය රැගත්  L’Oréal නිෂ්පාදන භාවිතයට ගැනීමට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන අතර, මේ හරහා උසස්ම තත්ත්වයේ සම රැකවරණ, හිසකේ සත්කාර, රුපලාවන්‍ය නිෂ්පාදන, හිරු කිරණින් ඔබව ආරක්ෂා කරනු ලබන නිෂ්පාදන සහ සුවඳ විලවුන් යනාදී නිෂ්පාදන රාශියක් පහසුවෙන්ම මිලදී ගැනීමට හැකියාව හිමිවේ.

මෙම නව හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර්හි විධායක අධ්‍යක්ෂ/ හේමාස් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා මෙසේ පැවසීය.

“අපි වසර ගණනාවක සිට අපගේ  වටිනා  පාරිභෝගිකයින් උදෙසා  විශ්වාසනීය සන්නාම බිහිකිරීමේ පුරෝගාමීන්ව සිටිනවා. පාරිභෝගිකයන් සතුව අප කෙරේ ඇති විශ්වාසය පිළිබඳ අප ඔවුන්ට ලබා දී ඇති පොරොන්දු ඉටුකිරීමේ තවත් එක් පියවරක් ලෙස අප  L’Oréal වැනි ගෝලීය මට්ටමේ රූපලාවන්‍ය ආලේපන හා සම්බන්ධ සන්නාමයක් හා එක් වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම සේවය සැපයීමේ අරමුණින් දිවයින පුරා පවතින  අලෙවි නාලිකා සමඟ අපගේ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුළ අප හොඳින් සන්නද්ධව සිටිනවා. මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරනු ඇතැයි මම විශ්වාස කරනවා”

“L’Oréal විසින් වසර ගණනක නවෝත්පාදන හා පර්යේෂණ ක්‍රියාදාමයන් තුළින් වෙළෙඳ පළ තුළට ඉදිරිපත් කරන ලද ඉහළම තත්ත්වයේ, සුවිශේෂී නිෂ්පාදන අත්විඳීමේ හැකියාව මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයින්ට හිමි වනවා. දිනෙන් දින වෙනස් වන රූපලාවන්‍ය හා සම්බන්ධ වෙළඳ පොළ තුළට ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදන ඉදිරිපත් කරමින් සිටින හේමාස් හි දේශීය වෙළඳ පොළ ශක්තිය තුළින් L’Oréal’  හි  ඉහළම ගෝලීය තාක්ෂණය මුසුවූ නිෂ්පාදන අත්විඳීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට හිමි වනවා.” මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් හි ව්‍යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්රිනා යුසුෆලි මහත්මිය පැවසීය.

මෙම හවුල්කාරිත්වයේ වර්ධනයත්  සමඟ L’Oréal හි ඉතා ජනප්‍රිය වෙළඳ නාම වන L’Oréal Paris, Garnier සහ Maybelline ශ්‍රී ලංකාව පුරා විසිරුණු හේමාස් වෙළඳ ජාලය හරහා මිලදී ගත හැකිය. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *