Sinhala

රථ වාහන පාරිභෝගිකයන් හට මතු විය හැකි අර්බුද තත්වයක් පිළිබඳව CMTA අවධානය

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රථ වාහන අමතර කොටස් ඇණවුම් හා සම්බන්ධ ණයවර ලිපි පහසුකම් ස්ථාපිත  කිරීමේ දී මතු වන දුෂ්කරතා පිළිබදව සිය අවධානය යොමු කරයි. බැංකු විසින් පනවන මෙම නිල නොවන සීමා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු කිරීමේ කටයුතු අඩපණ වී ඇති අතර එය භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය ඇතුළු සමස්ත ආර්ථිකයටම සෘජුව බලපෑමක් කරයි. ප්‍රවාහන ක්ෂේත්‍රය අඩපණ වුවහොත්, අපනයනය සහ සංචාරක කර්මාන්තය වැනි ප්‍රවාහනය මත රඳා පවතින මෙරට ප්‍රධාන ආදායම් මාර්ගවලට  එය දැඩිව බලපෑම් එල්ල කළ හැකිය.

බොහෝ වාහන හිමිකරුවන්  අනතුරුදායක පැච් අලුත්වැඩියා කිරීම, ව්‍යාජ අමතර කොටස් භාවිතය, විදේශ රටවලින් ඉවත දමන ලද වාහන සුන්බුන්වලින් ආනයනය කරන ලද අමතර කොටස් භාවිතය සිදු කරයි. මෙය වාහන භාවිතා කරන්නන්ගේ මෙන්ම මහ ජනතාවගේ ද ජීවිත හා දේපළ දැඩි ලෙස අනතුරට ලක් කරන්නට හේතු වේ.

මහජන ආරක්ෂාව හා සම්බන්ධ කරුණු හැරුණු විට, මෙම ණයවර ලිපි පහසුකම් ලබා දීමේ සීමා පැනවීම් සහ ප්‍රමාද වීම් නිසා නීත්‍යානුකූල වරලත් අලෙවිකරුවන් හට  අමතර කොටස්වල  සැපයුම හෝ මිල සම්බන්ධයෙන්  අනාවැකි පළ කිරීමට නොහැකි වී තිබේ. එසේම මෙම තත්වය හේතුවෙන් සමස්ත මෝටර් රථ වෙළෙඳ පොළ පුරා අවිනිශ්චිත භාවයක්  උද්ගත වේ ඇත.

වසර දෙකකට ආසන්න කාලයක් ආනයන තහනමින් බැට කෑ නීත්‍යානුකූල වරලත් අලෙවිකරුවන් හට තම  කාර්ය මණ්ඩලය සහ පොදු කාර්යභාරය පවත්වා ගැනීමට ඉතිරිව ඇති එකම ආදායම් මාර්ගය වන අලෙවියෙන් පසු සේවා මෙහෙයුම් කළමනාකරණය කර ගැනීමේ දුෂ්කරතාවන්ට අද මුහුණ දීමට සිදුව ඇත.

මෝටර් රථ කර්මාන්තය වර්තමානයේ පත්ව ඇති තත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ පැරණි මෝටර් රථ ක්‍රියාකාරීව පවත්වා ගැනීමට අමතර කොටස් අත්‍යවශ්‍ය භාණ්ඩ කාණ්ඩයක් ලෙස හඳුනා ගන්නා ලෙසත් CMTA විසින් ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම රථ වාහනවල නිෂ්පාදකයා නිර්දේශ කර ඇති අදාළ නිර්දේශයන්ට අනුව නඩත්තු කිරීමට නොහැකි වීම නිසා, අනාගතයේ දී රථ වාහනවල විශාල පරිමාණයේ අළුත්වැඩියා කිරීම් සහ බිඳ වැටීම් ඇති වීමට හේතු සාධක වනු ඇත. එමෙන්ම විශාල විදේශ මුදල් හානියක් ද සිදු වනු ඇත.

1920 දී ස්ථාපිත සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත අතර, ශ්‍රී ලංකාවේ රථ වාහන කර්මාන්තයේ හඬ ලෙස පුළුල්ව පිළිගනු ලබයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වේ. CMTA හි සාමාජිකයින් සියලු දෙනාම අන්තර්ජාතික මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් නියෝජිතයින් ද වේ.  CMTA විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ  යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ  වඩාත් හොඳ  අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් පුහුණු  හා රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *