Sinhala

ඩර්ඩන්ස් රෝහල ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයි

කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, නවීනත ම තාක්‍ෂණය භාවිතයෙන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියා කරන සමාගමක් ලෙස, මෙම  නවීන  තාක්ෂණික අන්වීක්ෂය ඩර්ඩන්ස් රෝහල තුළ ස්ථාපනය කිරීම සිදු කෙරිණි.

ඩර්ඩන්ස් රෝහල 1945 වසරේ ආරම්භයේ පටන් ම මෙරට ජනතාවගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ උදාරතර අරමුණින් ක්‍රියාත්මක වූ නිසා ම එම රෝහල දකුණු ආසියානු කලාපය තුළ වෛද්‍ය විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් මගින් සුවිශේෂී  කීර්තියක් ගොඩනඟා ගැනීමට සමත් විය.

මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රය  වෙත ලොව හොඳ ම තාක්‍ෂණය හඳුන්වාදීමට ඩර්ඩන්ස් රෝහල නිරන්තරයෙන් ම කටයුතු කරන අතර, එමගින් රෝගියාගේ සුවපහසුව වැඩි දියුණු කිරීම සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ පහසුව අරමුණු කරයි. එමෙන් ම DIMO විසින් මෙම ZEISS KINEVO 900 Neuro Microscope හඳුන්වා දීම ඩර්ඩන්ස් රෝහලේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මනා ශක්තියක් ලබා දුන් බව පැවසුවහොත් නිවැරදිය. මෙම නවීනතම ZEISS KINEVO 900 Neuro Microscope භාවිතයේ දී  සියලු ම දර්ශනයන් ශල්‍යාගාරයේ ඇති විශාල මොනිටරය මත දිස්වීම නිසා එමගින් කාර්ය මණ්ඩලයට තම කාර්යයන් වඩා කාර්යක්ෂමව කර ගැනීමට පහසු වේ. එමගින් ශල්‍ය වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍ය සහායකයින් ඇතුළු සියලු ම පාර්ශ්වයන්ට වඩාත් පහසු පරිසරයක් නිර්මාණය වේ.

ZEISS KINEVO 900 Neuro Microscope හි PointLock නම් විශේෂිත රොබෝ පාලන පද්ධතියක් සහිත වන අතර තවත් එවැනි නව විශේෂාංග කිහිපයකින් සමන්විත වේ. එමඟින් ශල්‍ය වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම වලදී යම් ලක්ෂ්‍යයක් කෙරෙහි අවධානය යොමු කිරීමට සහ නිවැරදි ඉලක්කයට අන්වීක්ෂය ගෙන යාමට හැකියාව ලබා දෙයි. PositionMemory මගින් මොළයේ ප්‍රධාන ප්‍රදේශ  විශාලනය කර බැලීමට හැකි වන අතර, QEVO® මෙවලම මගින් ශල්‍ය වෛද්‍යවරුන්ට සංකීර්ණ ව්‍යුහයන් දෙස බැලීම සඳහා ඉඩ සලසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජිතේන්ද්‍රි  පෙරේරා මෙසේ පැවසීය. ZEISS KINEVO 900 Neuro Microscope, අපගේ ශල්‍ය වෛද්‍යවරුන්ට ශල්‍යාගාරයේ දී නිවැරදි තීරණ ගැනීම සඳහා උපකාරී වන වටිනා මෙවලමක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේ ම අප වෙත පැමිණෙන සියලු ම රෝගීන්ගේ අවශ්‍යතා ඉතා හොඳින් සපුරාලීමට අප උත්සාහ කරන නිසා රෝගීන් වෙත විශිෂ්ට සත්කාරයක් ලබා දීම ඉතා වැදගත්. අප සතු  දක්ෂ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සමග නවීන තාක්‍ෂණික පහසුකම් සහ යටිතල පහසුකම් දියුණු කිරීම  සමඟින් ඩර්ඩන්ස් රෝහල 2022 වසරේ දී ස්නායු රෝග සහ ස්නායු ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතම රෝහල බවට පත් කිරීම අපගේ අරමුණයි.” 

“අපි අලුතින් ඉදි කළ ස්නායු විද්‍යා විශිෂ්ටතා මධ්‍යස්ථානය මගින් අපගේ සේවාවන් පුළුල් කිරීමට කටයුතු කළා. ඒ වගේම එය Neurology, Neurosurgery, Neuro-diagnostics, සහ Interventional Radiology  ආදී වශයෙන් සුවිශේෂී අංශ 4කට බෙදා සේවා ලබා දෙමින්, ස්නායු ආබාධ සහිත රෝගීන් සඳහා පහසුකම් සහිත පුනරුත්ථාපන ඒකකයක් ස්ථාපිත කිරීමටත් අපි කටයුතු කරනවා ” යනුවෙන් වෛද්‍ය පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේ ය. “මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත නවීන තාක්‍ෂණය  හඳුන්වාදීමට DIMO සමාගම නිරන්තරයෙන් පෙරමුණ ගන්නවා. ලෝ ප්‍රකට සන්නාමයක් වන ZEISS සමග එක් වෙමින්, ඩර්ඩන්ස් රෝහල නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට ලැබීම සතුටක්. අපි මීට පෙර මෙවැනි ම ව්‍යාපෘති කිහිපයක දී ඩර්ඩන්ස් රෝහල සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැංවීම සඳහා වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රය ආශ්‍රිත අපගේ ප්‍රවීණත්වය සහ දැනුම බෙදාහදා ගනිමින්, ඩර්ඩන්ස් රෝහලේ අනාගත ව්‍යාපෘති සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ZEISS සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා වශයෙන් එම නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු ම අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට DIMO සමාගම සූදානමින් සිටින බවත් පැවසීමට කැමති යි.”

ඩර්ඩන්ස් රෝහලේ නවතම ZEISS KINEVO 900 Neuro Microscope, ශල්‍යකර්මවල දී පහසුව මෙන් ම නිරවද්‍යතාවය සහතික කරන අතර, ඉතා නිවැරදි තීරණ ගැනීම සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *