Sinhala

නියාමනයන්ට යටත්ව, ගනුදෙනුකරුවන් හට උපරිම නම්‍යශීලී සේවාවක් සලසන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්

නිරෝෂන් උඩගේ

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත් තැනක් හිමි වන අංශයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ය. බැංකු නොවන මූල්‍ය ආයතන අංශය යනුවෙන්ද හඳුන්වන මෙම අංශය දිවයින පුරාම ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවාවන් පිරි නමමින් ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් වසර ගණනාව තුළ සෘජු හා වක්‍ර දායකත්වයක් දක්වා තිබේ. බැංකු නොවන මෙම මූල්‍ය සමාගම් සමූහය හඳුන්වන තවත් නාමයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බලපත්‍ර ලබාගත් සමාගම් බවත්, නිරන්තර අධීක්ෂණයට හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වන බවත් පැහැදිලි වේ.

අද වන විට රට තුළ විශ්වසනීය මූල්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුල්‍ය සමාගම් අණ පනත් රැසකින් ආවරණය වී තිබේ. 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත, 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත, 1982 දරන පාරිභෝගික ණය පනත, 2006 අංක 6 දරන ගනුදෙනු වාර්තා කිරීමේ පනත හා 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ආදිය, රට පුරා ක්‍රියාත්මක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් සිදු කරන මූල්‍ය ගනුදෙනු විශ්වාසනීය සේවාවන් බවට පත් කිරීම පිණිස බලාත්මක අණ පනත් වේ. මෙවැනි පනත් රැසකින් ආවරණය කෙරෙන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, සිය පාරිභෝගිකයින්ට විශ්වසනීය සේවාවක් පිරි නැමීමට කටයුතු කරන බව  දක්නට තිබේ.

මෙම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ආවරණය කෙරෙන වැදගත් පනතක් වන්නේ, පෙර කී මූල්‍ය ව්‍යාපාර පනතයි. එහි ඇති විධි විධාන, ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඉවහල් වේ. එම පනත මෙරට ක්‍රියාත්මක කිරීමත් සමගම, බලපත්‍රලාභී සෑම මූල්‍ය සමාගමක්ම පනතෙහි විධි විධානයන්ට අනුකූලව කටයුතු කිරීම අනිවාර්යය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය මෙවැනි විධිමත් ක්‍රියා පරිපාටියකට යටත් කර තිබීම,  දිගුකාලීන ආයෝජනයන්ට, මූල්‍ය ස්ථායීතාවට මෙන්ම මූල්‍ය සමාගම්වල අඛණ්ඩ පැවැත්මට ඉවහල් වන කාරණයකි.

එහෙත්, මෙලෙස නියාමනයන්ට යටත්ව විශ්වසනීය මූල්‍ය සේවාවන් පිරි නැමීමේ පරිසරයක් අද වන විට රට තුළ තිබියදී පවා, මෙම මූල්‍ය සමාගම් පිළිබඳ ඇතැම් පාරිභෝගිකයින් තුළ පවතින්නේ යහපත් ආකල්පයක් නොවේ. ඒ, බලපත්‍ර නොමැති ඇතැම් මූල්‍ය සමාගම් විසින් සිදු කරන ඇතැම් අක්‍රමිකතා හේතුවෙනි. එලෙසම, වැරදි ආකල්පයක් ජනතාව තුළ ගොඩ නැගීමට බලපාන තවත් හේතූන් වෙයි. මූල්‍ය සමාගම් අනුගමනය කරන මිල යාන්ත්‍රණය පිළිබඳ නිසි අවබෝධයක් ජනතාව තුළ නොමැති වීම එකකි. අනෙක් කරුණ නම්, මූල්‍ය සමාගම් විසින් ක්‍රියාත්මක කරන වත්කම් නැවත පවරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින අනවබෝධයයි.

මෙරට බැංකු අංශයට සාපේක්ෂව ගත් කල, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය මගින් සේවාවන් ලබා දීමේදී, අය කරන පොළී අනුපාත තරමක් ඉහළ අගයක් ගන්නා බව රහසක් නොවේ. ඒ සඳහා කාරණා කිහිපයක්ම බලපානු ලබයි. රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ක්ෂුද්‍ර, කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිමත් කරමින් ඔවුන්ට මූල්‍ය සේවාවන් පිරි නැමීමට කටයුතු කරන මූල්‍ය සමාගම් මූල්‍ය ගනුදෙනුවලදී ඉහළ පොළියක් අය කිරීම, වැඩි දෙනකුගේ අයහපත් ආකල්පයට හේතුවක් ලෙසින් පවතී. එම ආකල්ප මග හරවා ගැනීමට නම් මෙම ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන් පිළිබඳව අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

මෙරට ආර්ථිකය නැංවීම උදෙසා කටයුතු කරන ක්ෂුද්‍ර, කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැඩි හරිය ස්වකීය මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගන්නේ, මෙම මූල්‍ය සමාගම්වල ගනුදෙනුකරුවන් බවට පත් වෙමිනි. මෙම ක්ෂුද්‍ර, කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආර්ථික පිරමිඩයෙහි පතුලෙහි වන, ඉතාමත් අවදානම් මට්ටමේ ගනුදෙනුකරුවන් ලෙසින් මෙරට බැංකු ක්ෂේත්‍රය මගින් ප්‍රතික්ෂේප කෙරේ. බැංකු ගනුදෙනු සඳහා අවශ්‍ය ලිපි ලේඛන, එසේත් නැතිනම් වත්කම් හෝ ආදායම් තත්ත්වය සනාථ කිරීමට නොහැකි වීමෙන්, මෙම පිරිසට ස්වකීය මූල්‍ය අවශ්‍යතාවන් බැංකු මගින් ඉටුකර ගැනීමේ අවස්ථා ඇහිරී යයි. එලෙස බැංකු ක්ෂේත්‍රය මගින් පිළිසරණ නොලබන මෙම පිරිස ඊළඟට යොමු වන්නේ, ඔවුන්ගේ අවශ්‍යතාවය කෙසේ හෝ ඉටු කර දීමට සැදී පැහැදී සිටිනා, මෙරට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වෙතය.

මූල්‍ය සමාගම් රටේ බැංකු පද්ධතිය මගින් ප්‍රතික්ෂේප කෙරෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සිය ගනුදෙනුකරුවන් වශයෙන් තබා ගනිමින් ඔවුනට මූල්‍ය සේවාවන් පිරි නමන්නේ, දැඩි අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණ දෙමිනි. එනිසාම එම අවදානමෙන් මිදීම සඳහා අමතර අවදානම් ප්‍රතිශතයක් පොළී ප්‍රතිශතයට එක් කිරීමට මූල්‍ය සමාගම්වලට සිදුව තිබේ.

බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය විසින් පවත්වාගෙන යනු ලබන, මිල ව්‍යුහය ඉහළ නංවන කාරණාවලින් එකක් වන්නේ, ඔවුන් මුහුණ දෙන අධික අරමුදල් පිරිවැයයි. ජංගම හා ඉතුරුම් ගිණුම් හරහා අඩු අරමුදල් පිරිවැයක් පවත්වාගෙන යන බැංකු මෙන් නොව, බැංකු නොවන මූල්‍ය සමාගම් සඳහා අරමුදල් සැපයෙන්නේ මහජන තැන්පතුවලිනි. එමෙන්ම බැංකු පද්ධතිය සතු තැන්පතු මෙම අංශය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා තැන්පත්කරුවන් වෙත සාපේක්ෂව ඉහළ පොළි අනුපාතද ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් මෙම අංශයේ සමස්ත පොලී පිරිවැයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් තැන්පතුවල පොළිය ගෙවීම සඳහා වැය වෙයි. මේ හේතුවෙන් සමස්තයක් වශයෙන් බැංකුවලට වඩා ඉහළ වාරික අයකර ගැනීමට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයට සිදුව තිබේ. එමෙන්ම, මෙම ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන් වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පාරිභෝගිකයින් කළමනාකරණය කිරීමේ පිරිවැය ද සාපේක්ෂව ඉහළ ය. නිසි මූල්‍ය පාලනයක් සහ විනයක් ඇති කර ගැනීමට ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම සඳහා අතිරේක පසුබිම් පරීක්ෂාවන්හි සිට ක්ෂේත්‍ර පරීක්ෂාව සහ කළමනාකරණ අධීක්ෂණය දක්වා, බැංකු නොවන මූල්‍ය අංශයේ ගනුදෙනුකරුවකුට සැලකිය යුතු ලෙස ඉහළ මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදු වන අතර ඒ හේතුවෙන් මෙම සමාගම්වලට ඔවුන්ගේ මිල ව්‍යුහයට අමතර පිරිවැයක් එකතු කිරීම හැර වෙනත් විකල්පයක් නැත.

එමෙන්ම, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය මගින් ක්‍රියාත්මක කරන වත්කම් නැවත පවරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳවද වැඩි දෙනා තුළ අවබෝධයක් නොමැති වීම හේතුවෙන් අද වන විට ක්ෂේත්‍රය පිළිබඳ අයහපත් ආකල්ප වර්ධනය වීමට එයද එක් හේතුවක් වී තිබේ. මෙවැනි වත්කම් නැවත පවරා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙන්නේ, මූල්‍ය සේවාව ලබා ගන්නාගේ මෙන්ම පිරිනමන්නාගේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මතය. වත්කම් නැවත පවරා ගැනීමේදී, 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ නියාමනයන්ට යටත් ක්‍රියාවලියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. එම පනතට අනුව, නැවත ගෙවීමේ දැනුම් දීමක් සිදු කළ හැක්කේ, සැලකිය යුතු අසමත් වීමේ සීමාවක් තුළ වාරික ගෙවීම පැහැර හැර ඇත්නම් පමණි. පනත මගින් නියම කර ඇති පරිදි වත්කම් නැවත පවරා ගැනීම යනු, වාරික අයකර ගැනීම සඳහා වන අවසාන පියවර වේ. නැවත අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට පෙර, නැවත අය කර ගැනීමේ ක්‍රියාමාර්ග කල් දැමීමට ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම්, එම ඉල්ලීම පිළි ගැනීමටද හැකි සෑම අයුරින්ම සහන සැලසීමට ද මූල්‍ය ආයතන බැඳී සිටී.

අවසාන පියවර වශයෙන්, ලිඛිත සිහි කැඳවීම්, දැනුම් දීම් හා ගිවිසුම අවසන් කිරීමේ නිවේදනය ලබා දීමෙන් පසු දේපළ නැවත පවරා ගැනේ. ඒ බව මූල්‍ය සේවාව ලබා ගත් තැනැත්තා වෙත ලිපියක් මගින් දැනුම් දීම අවශ්‍ය වන අතර, පනතෙහි දක්වා ඇති වෙන්දේසි ක්‍රියාපටිපාටියට අනුව හිඟ මුදල් අය කර ගැනීම සඳහා පවරා ගත් දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කරනු ලැබේ.  

මෙවැනි කාරණා පිළිබඳ ජනතාව තුළ නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පිළිබඳව අයහපත් ආකල්ප ගොඩ නැගීම සාමාන්‍ය කරුණකි. මූල්‍ය සේවාවන් ලබා ගැනීමේදී, ජනතාව දැනුවත්භාවයකින් කටයුතු කිරීම, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පිළිබඳ පවතින මෙම අයහපත් ආකල්ප දුරු කර, වඩාත් විශ්වාසදායී මූල්‍ය සේවාවන් ලබා ගැනීමට ඉවහල් වේ.

(මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 30 ක පළපුරුද්දක් ඇති මෙම ලිපියෙහි ලේඛකයා  එල්. බී ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ය.)

Share

LEAVE A RESPONSE

Your email address will not be published.