Sinhala

අමානා තකාෆුල් අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරේ.

මෙරට ප්‍රමුඛතම දේශීය රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම එහි අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කරමින් නව්‍ය ගමන් මගක් සනිටුහන් කරයි.

ඒ අනුව 2020 දෙසැම්බර් 22 දින සිට බලපැවැත්වෙන පරිදි අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ලෙස දීප්ති වික්‍රමසූරිය මහත්මිය පත් කර ඇති අතර 2021 අප්‍රියෙල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂක ලෙස ෂර්හාන් මුහ්සීන් මහතා පත්කර තිබේ.

විවිධ ක්ෂේත්‍ර හා රටවල් කිහිපයකම සේවය කර වසර 35කට අධික පළපුරුද්දක් හිමි දීප්ති වික්‍රමසූරිය මහත්මිය, දැනට ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ ව්‍යාපාර උපදේශනය යන ක්ෂේත්‍රවල ස්වාධීන උපදේශකවරයෙකු ලෙස  අධ්‍යක්ෂමණ්ඩල හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටම්වල සේවය ලබා දෙයි. එලෙසම ආයතනික උපායමාර්ග, මෙහෙයුම්, මූල්‍ය, අවදානම් සහ පාලනය සම්බන්ධ දේශීය හා විදේශීය ව්‍යාපෘතිවල නායකත්වය ගෙන කටයුතු කල තැනැත්තියක් ලෙස ඇය ප්‍රසාදයක් හිමිකරගෙන සිටින්නීය.

මින් ඉහතදී ඇය කීර්තිමත් සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් සහ උපදේශිකාවක් ලෙස සේවය ලබා දෙමින් බොහෝ සමාගම් වර්ථමානයේ මුහුණ දී සිටින පරම්පරා අතර දුරස්ථභාවය අවම කිරීම සඳහා සාර්ථකව කටයුතු කර ඇත. එතුමිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) යාවජීව සාමාජිකත්වය දරණ අතර ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් හිමිකරගෙන තිබේ.

නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය පිළිබඳව අදහස් දක්වමින් එතුමිය මෙසේ පැවසීය. “අමානා තකාෆුල් අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වීමට ලැබීම ගැන මම සතුටු වන අතර මෙම අපූරු ආයතනයේ සාමාජිකයෙකු වීමට ලැබීම භාග්‍යයක් කොට සලකන්න කැමතියි.  අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ නව්‍ය රක්ෂණ විසඳුම් විශේෂය ජනප්‍රසාදය හිමිකර ගෙන තිබෙන අතර එහි ආයතනික සංස්කෘතිය ද බෙහෙවින් අගය කල යුතුයි. ආයතනයේ දූරදර්ශී නායකත්වය මෙන්ම සමාජ සත්කාරය කෙරෙහි දක්වන දැඩි අවධානය නිසා අමානා තකාෆුල් රක්ෂණ සමාගම විශේෂත්වයක් හිමිකර ගෙන ඇති අතර, මාගේ මෙම නව ගමන පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වනවා.”

ජ්‍යෙෂ්ඨ ආයෝජන බැංකුකරුවකු වන ෂර්හාන් මුහ්සීන් මහතා ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයතනික මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ යන ක්ෂේත්‍රවල දශක දෙකකට වැඩි පළපුරුද්දක් ලැබුවෙකි. විශේෂයෙන්ම ආසියානු සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සහ මුල්‍ය ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබා දී ඇත. එම අවස්ථා වලදී ෂර්හාන් මහතා සිදුකල සුවිශේෂී ඒකාබද්ධ කිරීම් සහ ප්‍රාග්ධන රැස් කිරීම් ගනුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

එලෙසම ෂර්හාන් මහතා ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ පර්යේෂණ ආවරණයේ ප්‍රධානියා සහ Jardine Fleming හි ප්‍රධාන ආර්ථික විශේෂඥවරයා ලෙස, බැංකු අංශයේ කාර්යක්ෂමතාව, මුදල් අවප්‍රමාණය සහ අයවැය හිඟය පිළිබඳ ප්‍රමුඛතම පර්යේෂණ වාර්තා සකස් කිරීම පිළිබඳ ප්‍රවීණයෙකු වශයෙන් ප්‍රචලිතය. ඔහු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආර්ථික සංවර්ධන කවුන්සිලයේ (එන්.සී.ඊ.ඩී) කණ්ඩායම් ප්‍රධානියෙකු ලෙස සේවය කරමින් ප්‍රතිපත්තිමය වශයෙන් අත්දැකීම් ලැබුවෙකි. එමෙන්ම 2004 සුනාමියෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා TAFREN ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කළේය.

මීට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති ෂර්හාන් මහතා බටහිර මිචිගන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධියක් ද නිව්යෝර්ක් හි JPMorgan Chase මගින් ආයතනික මූල්‍ය පුහුණුව ද සම්පූර්ණ කර තිබේ.

නව පත්වීම පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්විය. “අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස සම්බන්ධ වීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වනවා. අමානා තකාෆුල් ලයිෆ් සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළට නව්‍ය නිෂ්පාදන හා සේවාවන් ලබා දීමේ පුරෝගාමියකු වශයෙන් ඉදිරියට ගමන් කරනවා. සමාගමේ කොටස් හිමියන්ගේ වටිනාකම් හිමිකර දීම සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණය සමඟ පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමට මා බලාපොරොත්තු වනවා.”

අමානා තකාෆුල් රක්ෂණ සමාගම පිළිබඳව

මීට වසර  22 කට පෙර අමානා තකාෆුල් රක්ෂණ සමාගම ආරම්භ කෙරුණේ ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් හරහා ජනතාවට සැබෑ මානසික සුවයක් ලබා දීමේ මුලික දැක්ම සහ කැපවීම පෙරදැරිවය. ජනතාවට හිත සුව කැන්ඳන සදාචාරාත්මක භාවිතයන් ඉහළින්ම අගයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ තකාෆුල් රක්ෂණ සමාගම අමානා තකාෆුල් රක්ෂණ සමාගම වේ. අමානා තකාෆුල් රක්ෂණ සමාගම මනුෂ්‍ය-හිතකාමී ආචාරධර්ම තම හදවතට සමීපව තබා ඇති අතර, ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස්වල සමස්ථ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට සරිලන පරිදි ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ විසඳුම් මෙන්ම අද්විතීය සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිපත්ති ද ඉදිරිපත් කරයි.

අමානා තකාෆුල් රක්ෂණය එහි ආදර්ශ පාඨය වන “රටේ සැමහට එක ලෙස”තේමාව යටතේ සෑම ශ්‍රී ලාංකිකයෙකු සමාගම බැඳී සිටින අතර පාරිභෝගික කේන්ද්‍රීයතාව, විවෘත මනස, ගුණාත්මකභාවය සඳහා ඇති කැපවීම මෙන්ම  විවිධත්වයේ මූලික සාරධර්ම සමඟ දැඩි ලෙස පෙළ ගැසී කටයුතු කරයි. පාර්ශවකරුවන් සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීමෙන් සහ එකිනෙකා සමඟ සහයෝගීතාවයෙන් යුතුව අද්විතීය රක්ෂණ විසඳුම් සකස් කිරීමෙන් ද අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සුවිශේශිභාවය රැක ගනිමින් ශක්තිමත් මෙහෙවරක් ඉටු කරනු ලබයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *