Sinhala

Ocean Lanka සමාගම නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරයි

Fountain Set (Holdings) Limited, Brandix Lanka Limited, සහ Hirdaramani Group යන සමාගම්වල ගෞරවනීය හවුල් ව්‍යාපාරයක් වන Ocean Lanka (Pvt) Ltd පසුගියදා සිය නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරන ලදී. මෙම සමාගම් අතර පවතින සහයෝගීතාවය සංකේතවත් කරමින් සුවිශේෂී උත්සවයක් සහ කොක්ටේල් සංග්‍රහයක් සමඟින් ඔවුහු මෙම අවස්ථාව සමරනු ලැබූහ.

පිළිගැනීමේ කතාවෙන් උත්සව සභාව අමතමින් Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ හවුල්කරුවන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශවයන් සමඟ මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට ලැබීම ඉතා සතුටට කරුණක්. මෙම සැමරුම අපගේ නව කාර්යාල පරිශ්‍රය සඳහාම පමණක් නොවේ, පැවති වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට නොහැකි වූ අපගේ 25 වන සංවත්සරයද මේ අවස්ථාවේදී අපි සමරනු ලබනවා. අපි නව පෙනුමක් සහ දැක්මකින් යුතුව Ocean Lanka හි නව යුගයකට අවතීර්ණ වී සිටින අතර එළඹෙන අනාගතය අපට ඉතා යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

Fountain Set (Holdings) Limited හි විධායක අධ්‍යක්ෂ සහ උප සභාපති ආචාර්ය ලී ගැන්ග් මහතා විසින් මෙසේ  සිය සතුට ප්‍රකාශ කළේය.”Ocean Lanka නව කාර්යාලයට පැමිණීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. මෙය අපගේ කර්මාන්තයට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වන අතර ඉදිරි කාලය තුළ අපි එය ජය ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

“මම හිතන්නේ Ocean Lanka ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය රෙදිපිළි කර්මාන්ත ශාලාවයි. Ocean Lanka හේතුවෙන් අපි, රෙදිපිළි මහන සහ ගොතන ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. Ocean Lanka විසින් සිය රටට, කර්මාන්තයට, එහි කොටස්කරුවන්ට සහ එහි සේවකයින්ට ඉතා විශිෂ්ට කාර්යය භාරයක් ඉටු කරනු ලබනවා.” Brandix Lanka Limited හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. 

Hirdaramani Group හි අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි මහතා ශ්‍රී ලංකාවේ රෙදිපිළි ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම හවුල්කාරිත්වයට ඇති හැකියාව පිළිබඳව සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව තුළ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු ලෙස අපගේ ස්ථාවරය පවත්වා ගැනීමට, අපට අනුවර්තනය වීමට සහ නව්‍යකරණයන් කිරීමට සිදු වුණා. දිවයිනේ ඇති මහා පරිමාණ රෙදි නිෂ්පාදන කර්මාන්තායතනයන් කිහිපයෙන් එකක් ලෙස, අපගේ කර්මාන්තයේ අනාගතයට බලපෑම් කිරීමට අපට සුවිශේෂී අවස්ථාවක් පවතිනවා. ඒ සඳහා අප විසින් නව තාක්‍ෂණයන්  සඳහා ආයෝජනය කිරීම, පාරිසරික බලපෑම පිළිබඳව සැලකිලිමත් වීම වැනි නව මාර්ග ගවේෂණය කළ යුතු බව මම තරයේ විශ්වාස කරනවා.”

Fountain Set (Holdings) Limited, Brandix Lanka Limited, Hirdaramani Group නියෝජනය කරමින් ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. Fountain Set (Holdings) Limited හි විධායක අධ්‍යක්ෂ සහ උප සභාපති ආචාර්ය ලී ගැන්ග්, Ocean Lanka (Private) Co.Ltd හි අධ්‍යක්ෂ ලියු කිං, Fountain Set (Holdings) Limited හි සමාගම් ලේකම් චෙං වයි හැන් චාමයින් යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට පැමිණ සිටියහ. Brandix Lanka Limited නියෝජනය කරමින් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් සහ අධ්‍යක්ෂ ෆෙරෝස් ඕමාර්, Hirdaramani Group නියෝජනය කරමින් අධ්‍යක්ෂ අනිල්  හයිඩ්‍රාමනි, අධ්‍යක්ෂ විනෝද් හයිඩ්‍රාමනි සහ අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි යන මහත්වරුන් පැමිණ සිටියහ. ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ එම්.කේ.ඩී.ලෝරන්ස් සහ බියගම ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ කිත්සිරි කුමාරසිංහ යන මහත්වරුන්ගේ පැමිණීම මෙම උත්සවය තවත් වර්ණවත් කළේය. Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සමාගම නියෝජනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

Ocean Lanka (Pvt) Ltd,  ප්‍රකට ආයතනවල ශක්තීන්  සහ ප්‍රවීණත්වය ඒකාබද්ධ කරන සුවිශේෂී සහයෝගීතාවයක් නියෝජනය කරයි. Chinatex Corporation Limited යනු Fountain Set (Holdings) Limited හි විශාලතම කොටස් හිමියා වේ. Brandix Lanka Limited සහ Hirdaramani Group මෙම හවුල්කාරිත්වය සඳහා ඔවුන්ගේ පුළුල් කර්මාන්ත අත්දැකීම් සහ කැපවීම ලබා දෙයි.

ඡායාරූප සිරස්තලය

පළමු ඡායාරූපය  : වමේ සිට දකුණට—Fountain Set (Holdings) Limited හි සමාගම් ලේකම් චෙං වයි හැන් චාමයින්, Ocean Lanka (Private) Co.Ltd හි අධ්‍යක්ෂ ලියු කිං, බියගම ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ කිත්සිරි කුමාරසිංහ, Fountain Set (Holdings) Limited හි විධායක අධ්‍යක්ෂ සහ උප සභාපති ආචාර්ය ලී ගැන්ග්, Hirdaramani Group හි අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි, Brandix Lanka Limited හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, Hirdaramani Group හි අධ්‍යක්ෂ අනිල්  හයිඩ්‍රාමනි සහ අධ්‍යක්ෂ විනෝද් හයිඩ්‍රාමනි, Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *