Sinhala

දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක්

HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබුවා. දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියණුව සහ නගා සිටුවීම උදෙසා නව නිපැයුම් එළිදැක්වීම සහ ඒවායෙහි වෙළඳපොල සාර්ථකත්වය අත්හදා බැලීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි ඇති වැදගත්කම මෙහිදී මැනවින් පැහැදිලි වූවා. අප රටෙහි ආර්ථික බලගැන්වීම උදෙසා කෘෂි ක්ෂේත්‍රය වෙතින් සැළකිය යුතු වූ දායකත්වයක් ලබාගැනීමට නම් මෙවැනි දිරි ගැන්වීම් අත්‍යවශ්‍ය වන බව ඉතා පැහැදිලි කරුණක්.

මෙම වැඩසටහන යටතේ පෝෂණය, පරිසර හිතකාමී ඇසුරුම්, පරිසර හිතකාමී උපකරණ / අංගෝපාංග යන කෘෂි  නව නිපැයුම් හා සබැඳි අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා. දිවයින පුරා විවිධ ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් අයදුම්පත් 200ක් පමණ මෙම වැඩසටහන වෙත ලැබී තිබුණා. ඉතාමත් තීක්ෂණ වූ තේරීම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඒ අතරින් තෝරාගත් අයදුම්කරුවන් 20ක් සඳහා තවදුරටත් තරඟ අදියරක් පැවැත්වීමෙන් අනතුරුව අවසන් වටයට ව්‍යවසායකයින් 10 දෙනෙක් තෝරාගනු ලැබුවා. මෙම ව්‍යවසායකයින් 10 දෙනා තුන් මසක් දීර්ඝ වූ පරිපුර්ණ ව්‍යවසායකත්ව වැඩසටහනක් වෙත යොමු කෙරුණු අතර එහි අවසන් ප්‍රතිපලයක් ලෙස ඉතා කාර්යක්ෂම සහ සිත්ගන්නාසුළු වූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් එළිදැක්වීමට ඔවුන් සමත් වී තිබුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ ඔවුන්ගේ මෙම නව නිපැයුම් සහ අදහස් ප්‍රදර්ශනය කිරීම සඳහා දිනයක්ද සූදානම් කරනු ලැබුවා.

එදින තම අදහස් දැක්වූ HATCH වැඩසටහන් විධායක මෙවන් පීරිස් පවසා සිටියේ “මුලික අදියරේදී බොහෝ ව්‍යවසායකයින් මෙම වැඩසටහනට සහභාගී වූයේ අදහසක් පමණක් ඇතිවයි. අදහසේ සිට අවසන් නිෂ්පාදනයක් දක්වා වූ දීර්ඝ ගමන් පථය මාස 03ක් වැනි කෙටි කාලයක් ඇතුලත සම්පූර්ණ කරගැනීමට හැකි වීමෙන් මෙවැනි වැඩසටහන් වල ඇති වැදගත්කම සහ සාර්ථකත්වය මැනවින් පැහැදිලි වනවා.”

HATCH ආයතනය ශ්‍රී ලංකාවේ පුරෝගාමී නව නිපැයුම් සහ ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයයි. ව්‍යවසායකත්වය හා සබැඳුනු කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන HATCH ආයතනය තම පුරෝගාමීත්වය සහ කේන්ද්‍රීය ස්වභාවය පසක් කරමින් පසුගිය වසර 05 පුරා කාර්යාලීය සහයෝගීතාව සඳහා වන Co-working අවකාශයක් ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර අද වන විට එහි සාමාජිකත්වය ආයතන 125ක් පුරා විහිදුනු පුද්ගලයින් 1000කින් පමණ සමන්විත වනවා. එපමණක් නොව තමා විසින් දියත් කෙරුණු විවිධ ව්‍යවසායකත්ව වැඩසටහන් 18ක් ඔස්සේ ලාංකීය ව්‍යවසායකයින් 600කට අධික සංඛ්‍යාවක් සමඟ HATCH ආයතනය මේ වන විට කටයුතු කර තිබෙනවා.

වැඩසටහනට සහභාගීවූ යුරෝපා සංගම් නියෝජිත ඇනිටා රික්සන් පවසා සිටියේ පරිසර හිතකාමී නිපැයුම් ලංකාවේ පමණක් නොව යුරෝපා සංගමය ඇතුළුව ගෝලීය වශයෙන්ද ඉතා වැදගත්කමක් ගන්නා බවයි. යුරෝපා සංගමය ඒ  උදෙසා, HATCH වැනි ආයතන සමඟ  දීර්ඝ කාලයක් පුරා සබඳතා ගොඩනංවා පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් කළ ඇය, නව්‍යකරණය සහ නව නිපැයුම් එළි දැක්වීම පරිසර හිතකාමී බව කෙරෙහි බලපවත්වන ඉතාමත් වැදගත් සාධකයක් බවත්, එබැවින් මෙවැනි වැඩසටහන් කෙරෙහි යුරෝපා සංගමයෙහි සහයෝගය ලැබෙන බවත්, වැඩි දුරටත් පවසා සිටියා. ‘අපගේ පරමාර්ථය වන්නේ ලංකාව තුල මෙන්ම ගෝලියවද පරිසර හිතකාමී ව්‍යවසායකත්වය නඟා සිටුවීම තුලින් පරිසරය හා ව්‍යාපාර අතර ඒකාත්මික බවක් ගොඩ නැංවීමයි.’

මෙම නව නිපැයුම් සහ අදහස් ප්‍රදර්ශනය කිරීම සඳහා සූදානම් කෙරුණු  දිනය වූ Demo day හිදී අවසන් වටයට තේරුණු ව්‍යවසායකයින් 10 දෙනා වෙතින් සුවිශේෂී නිපැයුම් සහ අදහස් රැසක්  එළිදක්වනු ලැබුවා.

Kendi, Sebastco, Paper Story සහ Novapal යන ව්‍යවසායකයින් වෙතින් පරිසර හිතකාමී ඇසුරුම් ඉදිරිපත් කෙරුණු අතර ඒවා නිෂ්පාදනය කර තිබුනේ කෙසෙල් පට්ටා, පොල් කෙඳි සහ ලී කුඩු වැනි කෘෂි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන්.

මෙම නිපැයුම් අතර Novapal වෙතින් ඉදිරිපත් කෙරුණු 60% පමණ ඉඩ ඉතිරියක් සලසන, තරඟකාරී මිලකට පාරිභෝගිකයා අතට පත් කල හැකි ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ලී කුඩු ආශ්‍රයෙන් තැනූ නාවික බහාලුම් (පැලට්) වැනි, කාර්යක්ෂම සහ සිත්ගන්නාසුළු වූ පරිසර හිතකාමී විසඳුම් බොහොමයක් ඉදිරිපත් වී තිබුණා.

ඉතා නිර්මාණශීලි වූ කෘෂි තාක්ෂණික විසඳුම් කිහිපයක්ද මෙහිදී දක්නට ලැබුණා. වැඩි අස්වැන්නක් උදෙසා දත්ත ආශ්‍රිතව වගා උපක්‍රමයන් සැලසුම් කිරීමට සහ 35% පමණ ප්‍රතිපාදන ඉතිරියක් ඇති කරලීමට සමත් govi.ai, පරිගණක දත්තානුසාරයෙන් ගොවීන් බලගැන්වීම මගින් වැඩි අස්වැන්නක් මෙන්ම වැඩි ලාභයක් ලංකාවේ දුෂ්කර ගම්බද ගොවීන් වෙත ලඟා කර දීමට බලාපොරොත්තු වන එවන් කෘෂි ව්‍යවසායකයෙක්.

ඉහල ගුණාත්මක භාවයකින් යුතු සත්ව ආහාර නිෂ්පාදනය කෙරෙහි යොමු වූ Gro මෙන්ම, ආහාර නිෂ්පාදන ක්‍රියාදාමයෙහි කාර්යක්ෂමතාව සහ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම වෙත යොමු වී සිටින Nature’s Dry, Agro PV සහ AgroX, මෙම අංශයේ අනෙක් ව්‍යවසායකයින් වනවා.

Go Green Exports වෙතින් ‘Marco Pollos’ යන සන්නාමය යටතේ ඉදිරිපත් කෙරුණු දේශීය පොළොස් ආශ්‍රයෙන් නිපදවුණු වීගන් බර්ගර් (ශාකමය ආහාර බර්ගර්) වල රස බැලීමට සහ ගුණ දොස් දැක්වීමට ද පැමිණ සිටි අමුත්තන් හට අවකාශය සැලසුණා.

Demo Day හි ප්‍රදර්ශන සාර්ථකත්වය හේතුවෙන් ව්‍යවසායකයින් සහ සහභාගී වූ අන් පාර්ශවයන් අතර ඇති වූ  විධිමත් මෙන්ම ගැඹුරු සංවාද සහ අදහස් බෙදා ගැනීම් වල ප්‍රතිපලයක් ලෙස 20කට අධික වූ ආයෝජන සම්බන්ධතා තහවුරු වූවා. මෙම නව ව්‍යවසායකයින්ගේ ඉදිරි ගමන් මගෙහි ඊළඟ පියවර තැබීම සහ වෙළඳපල සාර්ථකත්වය ලබා ගැනීම කෙරෙහි එසේ ස්ථිර වූ සම්බන්ධතා පිටුවහල් වනු ඇති.

මෙසේ නවෝත්පාදන රැසක් එළි දැක්වුණු ඉතාමත් සාර්ථක දිනක් ලෙස මෙම දිනය නිමා වූ අතර සහභාගී වූ ව්‍යවසායකයින් වෙත අවැසි වූ දිරිය ලබා දීම මගින් HATCH විසින් තම පරිසර හිතකාමී අරමුණු කරා තවත් එක් පියවරක් ඉදිරියට තබනු ලැබුවා. ලාංකික නිෂ්පාදනයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා කෘෂි නිෂ්පාදන කෙරෙහි යොමු වී සිටින ජනගහන ප්‍රතිශතය 26% වැනි අගයක පවතින නමුත් සමස්ථ කෘෂි නිෂ්පාදන අත් කර ගන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.75% වැනි ඉතා සුළු අගයක්. මෙම තත්ත්වය වෙනස් කිරීමෙහි ලා අවැසි පියවරයන් ගනිමින් සිටිනා HATCH කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් කෙරෙහි තම සහයෝගය හා කැපවීම ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් තුලින් අඛණ්ඩව ලබාදීමට බලාපොරොත්තු වනවා.

මෙම වැඩසටහන වෙත මුල්‍යමය දායකත්වය දක්වමින් සහයෝගය ලබා දුන්නේ යුරෝපා සංගමය සහ ආර්ථික සහයෝගිතාව සඳහා වන ජර්මානු ෆෙඩරල් අමාත්‍යංශයයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *