Sinhala

මූල්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව බල ගැන්වීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) පෙරමුණ ගනී

රොෂාන් අබේගුණවර්ධන විසිනි

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ලියාපදිංචි මූල්‍ය සමාගම් 39 ක එකතුවකින් සැදුම්ලත්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) මගින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කෙරේ. වසර 62 ක කාලයක් පුරා ස්වකීය සාමාජික සමාගම්වලට මග පෙන්වමින් මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ මැදිහත්කරු වශයෙන් කටයුතු කරන එම සංගමය ශ්‍රී ලංකාව මූල්‍ය ක්ෂේත්‍රයෙන් බල ගැන්වීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරයි.

මෙරට මූල්‍ය ක්ෂේත්‍රය බල ගැන්වීමේ අරමුණින්, සංගමය විසින් සිදු කරන පුරෝගාමී මෙහෙවර ගණනාවක් වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය නොවන මුල්‍ය සමාගම්වල විෂමතා කලක් තිස්සේම පෙන්වා දෙමින්, ජනතාව ඒවායින් ඉවත් කර තැබීමටත් නිරන්තරයෙන් ලියාපදිංචි මුල්‍ය සමාගම්වල සේවය ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීමටත් සංගමය මගින් කටයුතු කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය හා අධීක්ෂණය යටතේ පවතින ලියාපදිංචි මුල්‍ය සමාගම් පිළිබඳ සමාජය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම සඳහා ක්‍රියාකාරීව කැපවන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය, මූල්‍ය සමාගම් අතර අන්‍යොන්‍ය සහයෝගිතාව පවත්වාගෙන ගෙන යමින්, ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය තුළ ශක්තිමත් වීමට එම සමාගම්වලට අඛණ්ඩ සහයක් සලසමින් කටයුතු කරයි.  

මෙරට ලියාපදිංචි මුල්‍ය සමාගම් මගින් සිදු විය හැකි වැරදි අවම කිරීම සඳහා එම ආයතන විධිමත් ක්‍රියාවලියකට අනුගත කිරීම පිණිස කටයුතු කරන සංගමය,‍් රට තුළ බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රය නගා සිටුවීමේ සිය උත්සාහයේදී,‍් ලියාපදිංචි මුල්‍ය සමාගම්වල ආචාර් ධර්ම වැඩි දියුණු කිරීම, අක්‍රමිකතා අධීක්ෂණය කිරීම සේම, මුල්‍ය සමාගම් ස්වයං-නියාමනයන්ට අනුගත කරලීම සඳහා සුවිශාල ඉදිරි පියවරක් තබා තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ව්‍යාපාර පනත සහ මූල්‍ය කල්බදු පනත වැනි ප්‍රධාන පනත් ක්‍රියාත්මක කරමින් මේ වන විට මෙරට ලියාපදිංචි මුල්‍ය සමාගම් දැඩි ලෙස නියාමනය කරනු දක්නට තිබීම ප්‍රශංසනීයය.

මුල්‍ය ක්ෂේත්‍රය තුළ තරගකාරී පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ගුණාංගයක් ලෙසින් මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වේ. එම අවශ්‍යතාවය පැහැදිලිව හඳුනාගෙන ඇති බලපත්‍රලාභී මූල්‍ය සංගමය මූල්‍ය සමාගම්වල නිරත සේවකයින්ගේ දැනුම ප්‍රගුණ කර වඩාත් බලපෑම් සහගත අයුරින් ක්ෂේත්‍රයට යොමු කිරීම සඳහා  නිරතුරුවම පුහුණු සැසිවාර පැවැත්වීමට කටයුතු කරයි. එමෙන්ම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථාවරභාවය ඇති කරලීම ස්වකීය මූලික වගකීමක් සේ සලකන සංගමය ඒ සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමග නිරන්තර සාකච්ඡාද  පවත්වයි.

සාමාජික සමාගම්වලට පොදු නෛතික ගැටලු සාකච්ඡා කිරීම සඳහාත්, පවතින වත්මන් නීති සම්බන්ධයෙන් සංශෝධන හා වැඩිදියුණු කිරීම් යෝජනා කිරීම පිණිස උපකාරී වන නීති කවයක්ද එමගින් පැවැත්වේ. මූල්‍ය සාරධර්ම හා ආචාර ධර්ම පිළිවෙත් අනුගමනය කරමින් මෙරට බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රය මෙහෙයවීම සඳහා නෛතික හා මූල්‍යමය විශේෂඥභාවයකින් යුතුව සංගමය එහිදී කටයුතු කරයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරින් විමසිලිමත්වන, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අද වන විට කුඩා, මධ්‍යම හා මහා පරිමාණ මෙන්ම ජාතික හා කලාපීයව ව්‍යාප්ත වූ සෑම තරාතිරමකම සමාගම් නියෝජනය කරයි. සමාගම්වල විශාලත්වය සහ විෂය පථය නොසලකා මෙම සෑම සමාගමක් මගින්ම ශ්‍රී ලංකා ආර්ථිකයට වැදගත් කාර්යභාරයක් ඉටු වේ. මෑත කාලීන අභියෝග හමුවේ, බැංකු නොවන මුල්‍ය ආයතන මගින් ජනතාව වෙත විශ්වාසදායී මුල්‍ය සේවාවක් ලබා දීම සහතික කරමින්, මේ වන විට රට පුරා ලියාපදිංචි මූල්‍ය සමාගම් 1358 ක් පවතී. මෙරට ජනගහනයෙන් සෑම 14,900 ක පිරිසකටම, මූල්‍ය සහය සැලසීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ශාඛාවක් ඇති අතර, එය ක්ෂේත්‍රයේ  උන්නතිය පිළිඹිබු කෙරෙන හොඳම සාධකයකි.

මෙරට බැංකු ක්ෂේත්‍රය විසින් දිගින් දිගටම නොසලකා හැර ඇති මූල්‍ය අවශ්‍යතා සහිත ක්ෂේත්‍රයක් වනුයේ, බිම් මට්ටමේ ව්‍යාපාර යි. බිම් මට්ටමේ මෙම ව්‍යාපාර සඳහා මූල්‍ය සහය පිරි නැමීමට ඇතැම් අවස්ථාවල බැංකු ක්ෂේත්‍රය අදිමදි කරද්දී, ඔවුන්ට අත්වැල සැපයීම සඳහා රට පුරා පෙරට විත් තිබෙන්නේ, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයයි. මූල්‍ය කල්බදු සහ ණය ප්‍රදානයන් මගින් මෙම ව්‍යාපාරවලට සේම, අඩු ආර්ථික මටට්මක් ඇති ජනතාවගේ ආර්ථිකය නැංවීමටද බැංකු නොවන මූල්‍ය මාහැඟි මෙහෙයක් ඉටු කර තිබේ. එවැනි කාර්යයන් අතින්, එම ක්ෂේත්‍රය මේ වන විටත් රටේ අභිවෘද්ධිය පිණිස විශාල වශයෙන් දායක වී ඇති අතර ඉකුත් මූල්‍ය වර්ෂය තුළ දළ වශයෙන් රු. බිලියන 16.6 ක් සෘජු බදු වශයෙන් ගෙවා තිබේ. ඉහත දායකත්වයට සමගාමීව, කර්මාන්තයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි මෙන්ම,‍් රටේ ඒක පුද්ගල ආදායම නැංවීම කෙරෙහිද ඇති කර තිබෙන බලපෑම ඉමහත්ය.

බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයට එල්ල වන බොහෝ අභියෝග ජය ගනිමින් දිගු දුරක් පැමිණීමට උපකාරී වූ මූලික හරයන්ද නොනසා පවත්වා ගනිමින්, ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට බලපත්‍රලාභි මූල්‍ය සමාගම් සංගමය  සමත්ව තිබේ. රට තුළ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA), 1958 දී ආරම්භ කරන ලද The Ceylon Hire purchase & Finance Association හි අනුප්‍රාප්තික සංගමයයි. මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නොතිබුණු එකල ක්ෂේත්‍රයේ පැවති ගැටලු සාකච්ඡා කිරීම සඳහා එම සංගමය පිහිටුවා ගන්නා ලදී. මෙම සංගමය 1986 දී, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) ලෙස නැවත නම් ලද අතර,‍් වසර 62 කට වැඩි ස්වකීය ඉතිහාසය තුළ සිය මුල් අරමුණු පුළුල් කරමින් පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදු කිරීම පිණිස එය තවදුරටත් වර්ධනය වී තිබේ.

(මූල්‍ය ක්ෂේත්‍රයේ 25 වසරක අත්දැකීම් ඇති මෙම ලිපියෙහි ලේඛකයා, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයෙහි (FHA) හි සභාපතිවරයා වේ.)

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *