Sinhala

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2021 වැඩසටහන දියත් කරයි

මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18ක් සුදුසුකම් ලබයි

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන්  තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරන ප්‍රධානතම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහන වන HUAWEI Seeds for the Future වැඩසටහන හයවන වරටත් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. මෙම වැඩසටහන දියත් කිරීමේ නිල උත්සවය පසුගියදා ඔන්ලයින් ක්‍රමවේදයකට පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා, Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Liang Yi මහතා, Huawei ශ්‍රී ලංකා සමාගමේ නිලධාරීන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.   

Huawei Seeds for the Future 2021 වැඩසටහන හරහා දේශීය සිසුන් හට ඔවුන්ගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කරගැනීමට විශාල අවකාශයක් හිමිවන අතරම, මේ තුළින් ශ්‍රී ලංකාව වෙත ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී විශාල සහයෝගයක් හිමිවනු ඇත. මෙවර වැඩසටහනේ සුවිශේෂීත්වය නම්, විශ්ව විද්‍යාල 06ක් නියෝජනය කරමින්, අති දක්ෂ සිසුන් 18 දෙනෙකු සඳහා ඔන්ලයින් ක්‍රමයට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පුහුණු, වැඩසටහන් ලබාගැනීමට අවස්ථාව හිමි වීමත්, චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වීමත්ය. තවද, Huawei හි නවතම තාක්ෂණයන් පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කිරීමටත්, තොරතුරු තාක්ෂණ දැනුම හුවමාරු කර ගනිමින් වඩාත් ඩිජිටල්කරණය වූ ලොවක් නිර්මාණය කිරීමටත් මෙම වැඩසටහන හරහා මාර්ගෝපදේශනය හිමිවේ. 

මෙහිදී අදහස් දක්වමින් ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස පවසා සිටියි. “අපේ රටේ වටිනාම සම්පත තමයි මේ දුවා දරුවන්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මෙන්ම, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දැක්ම තමයි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය තුළින් දේශීය සංවර්ධනය කරා ගමන් කිරීම. මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකරන මෙවැනි ආකාරයේ ආයෝජනයන් ඉතා විශාල දායකත්වයක් සපයනවා එම සංවර්ධන දැක්ම වෙත ගමන් කිරීමට. Huawei සමාගම විසින් තොරතුරු තාක්ෂණ කුසලතා වලින් දේශීය සිසුන් සන්නද්ධ කිරීමට සිදුකරන මෙවන් ආකාරයේ ව්‍යාපෘති අපි අගය කර සිටිනවා.  මෙවැනි ආකාරයේ වැඩසටහන් හරහා, විශේෂයෙන්ම අප දැන් පසු කරමින් සිටින අභියෝගාත්මක කාල වකවානුවේ, රටේ ආර්ථිකයට සිදුවන ධනාත්මක බලපෑම අතිමහත්. 

මෙම වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා මෙලෙස පවසයි.  “ඩිජිටල් පරිවර්තනයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා මූලික වෙනවා.  වත්මන් ගෝලීය පරිසරය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ දැනුම හුවමාරුව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඩිජිටල් තාක්‍ෂණය වඩාත් වැදගත් වී තියෙනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවේ මානව සම්පත් තුළ තාක්ෂණික කුසලතා වර්ධනයට සහාය වන විවිධ  වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමට සූදානම්.”

සංචාරක සීමා කිරීම් සහ ගෝලීය සැපයුම් දාමයේ සීමාවන් තිබියදීත්, ඩිජිටල් තාක්ෂණයන් ඔස්සේ ලොව පුරා ව්‍යාපාරයන් සාර්ථකත්වයක් අත්පත් කර ගත්තා, Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi අවධාරණය කළේය. තාක්‍ෂණය යනු වසංගතයේ අඳුරු වළාකුළු තුළ රිදී රේඛාවයි. අභියෝග නොසලකමින් ඩිජිටල් තාක්ෂනයන් දැන් අපගේ සමාජය පෙර නොවූ විරූ ලෙස වේගවත් අන්දමින් ඉදිරියට ගෙන යනවා. තවද, Huawei Seeds for the Future  වැඩසටහන හරහා 5G තාක්ෂණය , LTE සහ ක්ලවුඩ් පරිගණකකරණය ආදී නවීනතම තාක්ෂණයන් සහ AI තාක්ෂණය වැනි දෑ පිළිබඳ  ගැඹුරින් අධ්‍යනය කිරීමට මෙන්ම, HUAWEI ආයතනික සංස්කෘතිය සහ චීන සංස්කෘතිය පිළිබඳ ඉගෙනීමට සිසුන්ට සුවිශේෂී අවස්ථාවක් හිමිකර දීමට අපට හැකිවීම ගැන සතුටු වෙනවා. 

Huawei වැනි සමාගම්වලට සමාජ වගකීම් ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතාට ස්තුතිය පුද කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. 

2016 වසරේදී Seeds for the Future වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දියත් කරන ලදී. Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහන, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන තෘතීයික සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනකි. එමගින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම Huawei හි නවතම තාක්ෂණය පිළිබඳවද සිසුන් හට අවබෝධයක් ලබා දෙයි.  මෙම වැඩසටහන ශ්‍රී ලාංකේය තරුණ පරපුරට තම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම හා කුසලතා වැඩිදියුණු කර ගැනීමට හිමිවන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැළකිය හැකි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *