Sinhala

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳව නව යෝජනාවක් ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පුරෝගාමි  ආයතනයක් වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය  විසින්  “Sri Lanka Gemstone Hub Strategy Sapphire Capital of the World” යෝජනාව පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති උත්සව අවස්ථාවකදී රජය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම උත්සව අවස්ථාව අමතමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් ඩීන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.  “ අප අද මහත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද මෙම සංකල්පයන් නිර්මාණය වූයේ  මාස ගණනක් පුරාවට  වෙහෙස මහන්සියෙන් සහ දූරදර්ශී දැක්ම සහිතව සිදුකළ අපගේ  සහයෝගීතාවයේ ප්‍රයත්නයක් ලෙසයි. අප වැදගත් පියවරක් මෙලෙස ඉදිරියට තබන මොහොතක මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් කැපවී සිටින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දූරදර්ශී අභිප්‍රායයන් සමඟ  අපගේ අරමුණු ද පෙළගස්වා ගැනීමට හැකිවීම අප ලද සුවිශේෂී භාග්‍යයක්. එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට  මෙම කර්මාන්තයේ දායකත්වය පිළිබඳව ඔහුගේ මෑතකාලීන ප්‍රකාශවලින් මැනවින් පැහැදිලි වෙනවා.”

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ හිටපු සභාපති චානක එල්ලාවල මහතා විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් යෝජනාවේ සංකල්පය පැහැදිලි කරන ලදි. මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ වූයේ ඩුබායි, තායිලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා පවතින නිදහස් වෙළෙඳ කාල සීමා  මෙරට තුළද ඇති කිරීම මඟින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමය. මේ ඔස්සේ ක්ෂේත්‍රයේ කෙටි කාලීන සහ දිගු කාලීන වෙළෙඳපොළ වර්ධනය කරමින් රටේ විදේශ ආදායම් උත්පාදනයට ද විශාල දායකත්වයක් සපයනු ඇත.

කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා ද මෙහිදී මෙසේ සඳහන් කළේය. “මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට මෙවැනි නිදහස් වෙළෙඳ කලාප ක්‍රමයක් හඳුන්වාදීම රටේ කාලීන අවශ්‍යතාවයක් .එබැවින් අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සම්පත් සහ හැකියාවන් උපයෝගී කර ගනිමින් අවශ්‍ය මගපෙන්වීම සහ උපරිම සහයෝගය ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා.”

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය  ආචාර්ය රමේෂ් පතිරණ මහතා,  ශ්‍රී ලංකා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මහතා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු  දිලුම් අමුණුගම මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා,  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටි අතර ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා සහ ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා ද මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කළහ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *