Sinhala

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පැවැති Hatch AccelerateHER Demo Day වැඩසටහන සාර්ථකව අවසන් වේ

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අරමුදලේ සහාය ඇතිව, Hatch විසින්  කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නව්‍ය accelerator වැඩසටහන වන AccelerateHER  Demo Day වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදි. මාස 03ක් පුරා පැවැති මෙම වැඩසටහනේදී  කැපී පෙනෙන ප්‍රගතියක් සහ ව්‍යාපාරික නැඹුරුතාවයක් ප්‍රදර්ශනය කළ කාන්තා නව ව්‍යවසායකයින් හත් දෙනෙකු වෙත උපාධි සහතික පිරිනැමීම ද සිදු වූ අතර නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරවල ආයෝජනය සහ සුරක්ෂිත බව තහවුරු කිරීමේ අරමුණින් ඔවුන්ව ආයෝජකයින් සහ පාර්ශවකරුවන් වෙත හඳුන්වා දීම ද මෙහිදී සිදු විය. 

මෙහිදී අදහස් දක්වමින් Hatch හි AccelerateHER වැඩසටහන් කළමනාකාරිණී රුවනාරා තිලකරත්න මහත්මිය  මෙසේ පැවසුවාය. “මෙම මාස කිහිපය තුළ දැඩි  වෙහෙසක් දරමින් සහ මනා කැපවීමකින් බොහෝ දේ ඉගෙන ගැනීමට, අගනා උපදේශනයන් ලැබීමට, ජාලකරණය ඇතුළු ක්‍රියාකාරකම් රැසක නිරත වීමට අපට සහ ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවුණා. මේ නවක ව්‍යවසායකයින්ගේ වර්ධනය දකිමින් ඔවුන්ගේ සාර්ථකත්වයේ සාක්ෂිකරුවන් වීමට ලැබීම පිළිබඳව මම සැබවින්ම සතුටු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා දැක්වූ සහයෝගය වෙනුවෙන් අපගේ සියලුම හවුල්කරුවන්ට මෙන්ම  විශේෂයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට මගේ ප්‍රණාමය පුද කරනවා”

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් විසින්  උපාධි හිමි කරගත් ව්‍යවසායකයින් ආමන්ත්‍රණය කරමින් මෙසේ පවසන ලදි. “නව ව්‍යාපාර මඟින් රටේ ආර්ථිකය පෝෂණය කරනවා. ඒ වගේම ඒවා රට පුරා සිටින ප්‍රජාවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට උපකාරී වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවේ කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කරමින් රටේ සියලුම කාන්තාවන්ට සැබෑ ආදර්ශයක් සපයනවා. ඔබගේ උත්සහයන්ට සහය වෙමින් ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට සහ  ව්‍යාපාරික කාන්තාවන් සවිබල ගැන්වීමට එක්සත් ජනපදය නිරන්තරයෙන්ම කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව තුළ නව්‍යකරණයන් ඉදිරියට ගෙනයමින් සහ නව අවස්ථාවන් නිර්මාණය කරමින් ගෝලීය ප්‍රගතියට අර්ථවත් ලෙස දායක විය හැකි  මෙන්ම සෑම පුද්ගලයෙකුටම දියුණු විය හැකි අනාගතයක් අපි සියලු දෙනාම එක් වී ගොඩනඟමු”

මෙම වැඩසටහන යටතේ උපාධි හිමිකර ගත් කාන්තා ව්‍යවසායිකාවන් අතර , දේශීයව බහුල පලතුරු සහ එළවළු සැපයුම ප්‍රයෝජනයට ගනිමින් කල් තබා ගන්නා ද්‍රව්‍ය රහිතව ස්වාභාවිකව ආහාර වර්ග නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වන ‘Lak Nature’ සන්නාමයේ  නිර්මාතෘ ලක්මිණි වීරක්කොඩි මහත්මිය ද වූ අතර මෙහිදී ඇය මෙසේ සිය අදහස් එකතු කළාය. “ශ්‍රී ලංකාවේ නැවුම් නිෂ්පාදන අධික ලෙස අපතේ යාම පිළිබඳව මම පුවත්පත් ලිපියක් දුටුවා. එය මෙම නාස්තිය ප්‍රයෝජනයට ගැනීමට සහ අවම කිරීමට ක්‍රමයක් සොයා ගැනීම ගැන මා තුළ පෙලඹීමක් ඇති කළා.මගේ ගමන ආරම්භ වුණේ එතනින්.ශ්‍රම බලකාය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට සහාය දැක්වීම පිළිබඳව  මම බෙහෙවින් උනන්දු වෙනවා. මගේ කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය සඳහා සම්පූර්ණයෙන්ම කාන්තාවන් බඳවා ගැනීමට කටයුතු කිරීම  පිළිබඳව මම ආඩම්බර වෙනවා.”

බිම්මල්  නිෂ්පාදන මාලාවක් නිෂ්පාදනය කරන සමාගමක් වන ‘Star Mushrooms’ හි හවුල්කරුවෙකු  වන නිමේෂා පෙරේරා මහත්මිය ද Demo Day හි දී ඇගයුමට  පාත්‍ර වූ අතර ඇය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “ශ්‍රී ලංකා වෙළෙඳපල තුළ මස්-මාංශ ආදේශක සඳහා නිර්මාංශ විකල්ප නොමැතිකම සැලකිල්ලට ගනිමින් මගේ මව මීට දශක දෙකකට පමණ පෙර සිට ‘Star Mushrooms’  ව්‍යාපාරය ආරම්භ කළා. මම මෑතකදී හවුල්කරුවෙකු ලෙස මේ ව්‍යාපාරය සමඟ සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය තුළ සත්ත්ව ආහාරවලින් තොර පෝෂණීය විකල්ප ආහාරවල ඇති හිස්තැන සම්පූර්ණ කරමින් අපගේ ව්‍යාපාරය ද පුළුල් කිරීමේ අරමුණ සහිතවයි.”

සම්පත් භාවිතය සඳහා නව්‍ය ප්‍රවේශයක් ප්‍රදර්ශනය කරමින් මාළු අපද්‍රව්‍ය කුකුළු ආහාර බවට පරිවර්තනය කිරීමේ සුවිශේෂී නිෂ්පාදන ව්‍යාපාරයක් වන Agro feed හි නිර්මාතෘවරිය වූ උතුරු පළාතේ අරුප්‍රියා ද මෙහිදී උපාධිධාරී  නවක ව්‍යවසායිකාවක් ලෙස ඇගයීමට පාත්‍ර විය. “මෙවැනි අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා සැලකිය යුතු මට්ටමේ  පරිසර දූෂණයක් හා හානියක්  පරිසරයට සිදුවෙනවා. මේ ගැටලුවට පිළියමක් විදිහට  මාළු අපද්‍රව්‍ය  කුකුළු ආහාර බවට පත් කිරීමට මම කටයුතු කළා. ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වෙනුවෙන් මගේ දෙමාපියන්ගේ සහයෝගයද මට හිමි වුණා. එහෙත් මම තවමත් අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින ශිෂ්‍යාවක් විදිහට මගේ අධ්‍යයන කටයුතු සහ ව්‍යාපාර කටයුතු සමබරව පවත්වාගෙන යාම මට අභියෝගයක් වුණා.” ලෙසින් ඇයගේ අදහස් ද පළ කළාය.

ග්ලූටන් රහිත ස්වභාවික ආහාර විසඳුම් සපයන සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් වන ‘INGROW’ වෙනුවෙන් එහි සමනිර්මාතෘ අචින්ත්‍යා නැලිගම ද ‍Demo day හි දී ඇගේ අදහස් මෙලෙස බෙදාගත්තාය. “ ග්ලූටන් (gluten) රහිත   පරිභෝජනයට  සුදුසු ආහාර  විකල්ප අපේ රටේ සීමිත වීම වෙනුවෙන් සිදුකළ මගේ පෞද්ගලික අරගලය මෙම ව්‍යාපාරය දියත් කිරීමට හේතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ග්ලූටන් රහිත නිෂ්පාදන සංවර්ධනය කිරීම මම ආරම්භ කළා. කාලයක් ගත වන විට දියවැඩියා රෝගීන්ට ද සුදුසු ආහාර සැපයීම දක්වා අපේ ව්‍යාපාරය පුළුල් කර ගැනීමට හැකියාව ලැබුණා. සෑම විටම මෙම නිෂ්පාදන සැකසීමේදී හොඳම ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කිරීම කෙරෙහි අපි වැඩි අවධානයක් ලබා දෙනවා.”

ඉහත ව්‍යාපාරවලට අමතරව, ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර නිෂ්පාදන සකස් කරන සන්නාමයක් වන Nue Body Basics ; රාජස්ථානයෙන් ගෙන්වන ලද 100%ක් කපු රෙදි භාවිතයෙන් නිෂ්පාදනය කරන ළමා ඇඳුම් සන්නාමයක් වන Barbet Apparel ; ළමුන් සඳහා විනෝදජනක සහ ආකර්ෂණීය STEM ක්‍රියාකාරකම් සපයන Ed-tech සමාගමක් වන ‘The Makers Global’ ඇතුළු නව්‍ය ව්‍යාපාර සන්නාම රැසක් Demo Day හි දී ඇගයීමට ලක් විය.

‘AccelerateHER’ 2021 වසරේ නොවැම්බර් මාසයේදී   එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය ද සහිතව Hatch විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.  ස්ත්‍රී-පුරුෂභාවය  කේන්ද්‍ර කරගත් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය පෝෂණය කිරීමය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය වෙනසක් ඇති කිරිමේ ධනාත්මක  බලවේගයක් වීමේ අපේක්ෂාවෙන් AccelerateHer ඔස්සේ කාන්තා ව්‍යවසායකත්වය කේන්ද්‍ර කර ගත් තවත් වැඩසටහන් රැසක් ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට Hatch සැලසුම් කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *