Sinhala

හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් විසින්  ලොව උසස්ම තාක්ෂණය ඇසුරින්  Inotec පොලිඑතිලීන් නල දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි

කෘෂිකාර්මික ජල සම්පාදන ක්‍රියාවලියේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරමින් හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් පසුගියදා විවෘත කරන ලදි. සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරීශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම නවතම කර්මාන්තශාලාව  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබා දෙනු ඇත.

ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳව ලොවම පිළිගත් තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත තායිලන්තයේ Kanok Products ආයතනය සමග  අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් හේලීස් ඇග්රිකල්ච ආයතනය මෙම නවතම කර්මාන්තශාලාව  ආරම්භ කර ඇත.  කෘෂි උපකරණ අංශය පිළිබඳව හේලීස් ඇග්රිකල්ච  ආයතනය සතු  දිගුකාලීන අත්දැකීම් සහ Kanok Products ආයතනයේ උසස් තාක්ෂණය අනුසාරයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම නිෂ්පාදන මඟින් සීමිත ජල සම්පත මනා අරපිරිමැස්මකින් සහ කළමනාකරණයකින් යුතුව උපරිම ප්‍රයෝජනයට ගත හැකි අතර කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ පෙරළිකාර ජල සම්පාදන තාක්ෂණික විසඳුම් ළඟා කර දෙනු ඇත.

මෙම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහභාගි වූ අතර  හේලීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ද  සම්භාවනීය අමුත්තන් ලෙස එදින සහභාගි වූහ. එහිදී ඇග්‍රෝ ටෙක්නිකා හි අධ්‍යක්ෂ සහ හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි කෘෂි උපකරණ අංශයේ සාමාන්‍යාධිකාරී සුමිත් හේරත් මහතා  සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.”මෙම හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා අප ආයතනය දක්වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක් සපයනවා. කෘෂිකර්මාන්තය පිළිබඳව හේලීස්  සතු දිගු කාලීන  පළපුරුද්ද සමඟ  Kanok හි  උසස් ක්ෂුද්‍ර ජල සම්පාදන  තාක්ෂණය මුසු වීමෙන් අපේ රටේ ගොවි ප්‍රජාව සවිබල ගැන්වීම මෙන්ම මෙරට ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ද අර්ථවත් දායකත්වයක් ලබා දීමට  අප ආයතනයට හැකියාව ලැබෙනවා.”

මෙම නවතම කර්මාන්තශාලාව මඟින් දේශීයව නිෂ්පාදනය කරන ලද වැඩි ඝනත්ව  පොලිඑතිලීන් (HDPE) සහ අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) නල පහසු මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර ඒවා තවත් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. සිය නිෂ්පාදන ක්‍රියාවලියට තිරසාරභාවය අන්තර්ගත කරමින් මෙම නවීන කර්මාන්තශාලාව තුළ 16mm සිට 63mm දක්වා විෂ්කම්භයක් සහිත උසස් තත්ත්වයේ නියම අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවුණු නල නිෂ්පාදය කරන අතර එම නල බිංදු සහ විසිරුම් (Drip and Sprinkler)  ජල සම්පාදන ද්විත්වයටම යෝග්‍ය වේ.

හේලීස් ඇග්රිකල්ච  සමාගම  කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ගුණාත්මක සහ නව්‍ය විසදුම් ලබාදීම පිළිබඳව මෙරට ගොවි ප්‍රජාවගේ  ඉහළම විශ්වාසයක්   දිනාගෙන සිටින ආයතනයකි. එහි කෘෂි උපකරණ අංශයේ ප්‍රමුඛ සන්නාමයක් වන  “Inotec පියස” මඟින්  මෙරට කෘෂිකර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කිරීමට අවශ්‍ය සියලුම යෙදවුම් සැපයීම තුළින්  අද්විතීය නාමයක් හිමිකරගෙන සිටියි.

මෙම පොලිඑතිලීන් නල නිෂ්පාදන කර්මාන්තශාලාවේ  සමාරම්භය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යටිතල පහසුකම් නවීකරණය කරමින් එම ක්ෂේත්‍රය  සැලකිය යුතු ඉදිරි පියවරක් වෙත රැගෙන යනු ඇත. දිගු කාල පරාසයක් පුරාවට මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස්  සමාගම සිය නවෝත්පාදනයන්හි ගුණාත්මක බව ඔස්සේ  කෘෂිකාර්මික අංශයේ සහ ඉන් බාහිර ක්ෂේත්‍රයන්හි ද  පරිවර්තනීය  වෙනසක් ඇති කිරීමට සිය දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *