Sinhala

ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන  කාර්යාලය (ILO) සමඟ එක්ව  ‘Schoolpreneur 2023’ නමින්   පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක්  එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට නියමිතය. මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අනුරාධපුරය, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි දී අදාළ පළාත් උත්සව සංවිධානය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව දැනුවත්භාවය පුළුල් කිරීමේ පරමාර්ථයෙන්  වාර්ෂික පාසල් දින දර්ශනයට පාසල් ව්‍යවසායකත්ව දිනය ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ එකඟතාවය පළ කර ඇත. මෙම ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ තිරසාර සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා දරුවන් තුළ ව්‍යවසායකත්වය පිළිබඳව කුසලතාවන් වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

ව්‍යවසායකත්වය යනු රටක සමාජ සහ ආර්ථික යහපැවැත්ම කෙරෙහි තුඩු දෙන මූලික සාධකයකි.එමඟින්  නවෝත්පාදනයට, රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට අවස්ථාවන් නිර්මාණය කරයි. නව අදහස්, නිෂ්පාදන සහ සේවා හඳුන්වා දීම හරහා තරඟකාරිත්වය ඇති කරමින් ව්‍යවසායකයින් රටේ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නංවයි.එමෙන්ම කර්මාන්ත විවිධාංගීකරණය උදෙසා ව්‍යවසායකත්වය තුළින් විශාල දායකත්වයක් හිමි වන අතර රටේ ආර්ථිකය තනි ආර්ථික අංශයක් මත යැපීම අවම කරයි. තවද, ව්‍යවසායකත්වය මඟින්  තම මූල්‍ය තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා  සවිබල ලබාදෙන අතරම , පුද්ගලයන් තුළ ආත්ම විශ්වාසය හා ස්වාධීනත්වය පෝෂණය කරයි. Schoolpreneur 2023 හි අපේක්ෂාව වන්නේ, මෙම අත්‍යවශ්‍ය කුසලතාවන් දරුවන් වෙත කඩිනමින් ලබා දෙමින්   තාරුණ්‍යය   අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමය.

මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා මෙසේ  සඳහන් කළේය. “වර්තමානය වන විට ව්‍යවසායකත්වය  අපේ රටට  ඉතාම වැදගත් අංශයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්, දිවයින පුරාම ව්‍යවසායකත්ව සමාජ පිහිටුවීම ඇතුළුව අධ්‍යාපන ආයතන තුළ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමේ සැලකිය යුතු දියුණුවක් අපට දකින්න ලැබෙනවා.එය  සක්‍රීය කිරීම සඳහා ලබාදෙන දායකත්වය වෙනුවෙන් මම ලංකා වාණිජ මණ්ඩලයට, ජාත්‍යන්තර කම්කරු සංවිධානයට හා සහයෝගීතාව ලබාදෙන අනෙකුත් ආයතනයන් වෙත මගේ ප්‍රණාමය පුද කරනවා. “

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂක සිම්රින් සිං මහත්මිය ඇගේ අදහස් මෙසේ ප්‍රකාශ කළාය.           “ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙම පුරෝගාමී පියවර තුළින් රට තුළ තරුණ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීමට අපි අපේක්ෂා කරනවා.  විශේෂයෙන් සම්ප්‍රදායික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් යටතේ ඉලක්කගත නොවන  පාසල් සිසුන් අතරට ද මේ හරහා ව්‍යවසායකත්වය පිළිබඳව දැනුම රැගෙන යාමට අපට හැකියාව ලැබෙනවා. රටක ආර්ථික වර්ධනය සහ ප්‍රගතිය මෙහෙයවීම සඳහා ව්‍යවසායකත්වය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දැනටමත් ද්විතීයික පාසල් මට්ටමින් මෙම කුසලතාව පෝෂණය කිරීම සඳහා කටයුතු කර ඇති අතර එමඟින් තාරුණ්‍යය සිය අනාගත වෘත්තීය ජීවිතය යහපත් කර ගනිමින් ඔවුන්ගේ පවුල්වල මෙන්ම ප්‍රජාවගේ සහ රටේ යහපැවැත්මට දායක වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා මහතා මෙසේ පැවසුවේය. “මේ මොහොතේදී  ශ්‍රී ලාංකික අපගේ මූලික අරමුණ වන්නේ ආර්ථික ස්ථාවරත්වයක්  ළඟා කර ගැනීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, නවෝත්පාදනයන් වර්ධනය කළ යුතු අතර ඒ වෙනුවෙන් රටේ තරුණ තරුණියන් තුළ ව්‍යවසායකත්වය සහ නායකත්ව හැකියාවන් පෝෂණය කිරීම අත්‍යවශ්‍යයි. මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දක්වන රට පුරා සිටින අපගේ සියලුම හවුල්කරුවන්ට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. “

Schoolpreneur 2023 යනු මෙරට ව්‍යවසායකත්ව පරිසරය තුළ යම් ධනාත්මක වෙනසක්   ඇති කරමින් තරුණ ප්‍රජාව ව්‍යවසායකත්වය ලෝකය වෙත ප්‍රවේශ වීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මෙහෙයවන දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව (SALE) ව්‍යාපෘතියේ ප්‍රමුඛ මුලපිරීමකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය වැනි උපායමාර්ගික ක්‍රියා මාර්ග හරහා රටේ තාරුණ්‍යයට ඔවුන්ගේම ව්‍යාපාර දියත් කිරීමට සහ වර්ධනය කිරීමට හැකි වන යහපත් ව්‍යවසායකත්ව පරිසරයක්  ඇති කිරීමට අවස්ථාව උදාවනු ඇත.

ලියාපදිංචි වීම සඳහා පිවිසෙන්න https://gocurveup.com/schoolpreneur23/

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *