Sinhala

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන්  ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ  ඉතිහාසය සහ එහි නව්‍ය ප්‍රවණතාවන්  පිළිබඳ මෙන්ම ඒ සඳහා ප්‍රජාවගේ සහභාගීත්වය, සදාචාරාත්මක භාවිතය සහ වගකීම් ආදිය පිළිබඳව පැමිණෙන නරඹන්නන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර එය සහභාගීවන්නන්ගේ ආකර්ෂණය නිසැකවම දිනාගැනීමට සමත් වනු ඇත.

මෙහිදී ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තය විකාශනය වීමේ  ඓතිහාසික ගමන පිළිබඳව ප්‍රදර්ශනය කිරීම සඳහා නවීන තාක්ෂණික තිර සහ මෙවලම් යොදාගැනීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා පරම්පරා ගණනාවක් ඈතට විහිදී යන දේශීය මැණික් කර්මාන්තයේ අද්විතීය ඉතිහාසය සහ එම දිගු ගමනේදී එතෙක් මෙතෙක් සිදුවුණු පරිවර්තනීය වෙනස්කම් වෙත ප්‍රේක්ෂකයන් රැගෙන යනු ඇත. මේ ඔස්සේ පරිසර හානිය අවම කරමින් සහ  ප්‍රජාවට උපරිම ප්‍රතිලාභයක් ලබා දෙමින් ඉතා සූක්ෂම ලෙස මැණික් ලබා ගන්නා ආකාරය ,  සාධාරණ ලෙස  වෙළෙඳ  සහ නිෂ්පාදන කටයුතු සිදු කිරීම, වගකීම් සහගත ලෙස පතල් කැණීම් සිදු කිරීම සහ පතල් කැණීම්වලින් පසු කැණීම් කරන ලද භූමි නැවත  ස්වාභාවික තත්ත්වයට ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් සිදු කරන සංරක්ෂණ ප්‍රයත්නයන් ආදී සියලුම කරුණු පිළිබඳව අවධාරණය කරනු ඇත.

FACETS Sri Lanka 2024 හි තිරසාර ප්‍රදර්ශන කුටියේ සභාපති අර්මිල් සැමූන් මහතා මේ පිළිබඳව සිය අදහස් මෙසේ බෙදාගත්තේය. “ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ඇති සුවිශාල  ඉතිහාසය ගැන බොහෝ දෙනෙක් තුළ ලොකු අවබෝධයක් නැහැ. එම  ඉතිහාසය ප්‍රදර්ශනය කරමින් කර්මාන්තයේ වගකීම් සහගත භාවිතයන් සහ තිරසාරභාවය වෙත දිවෙන අපගේ ගමන් මඟ පිළිබඳව නරඹන්නන් වෙත යම් අවබෝධයක් ලබාදීම අපගේ ප්‍රදර්ශන කුටියේ මූලික අරමුණයි. පාරිසරික හානිය අවම කරමින් වගකීම් සහගත ලෙස මැණික් ලබා ගන්නා ආකාරය සහ ඉන් ප්‍රජාවට ලැබෙන ඍජු ප්‍රතිලාභ පිළිබඳව මෙහිදී අපගේ වැඩි අවධානයක් යොමු කිරීමට අපි අපේක්ෂා කරනවා. එමෙන්ම එවැනි පාරිසරික වශයෙන් හිතෛෂි සහ වගකීම් සහිත ගමනක් හරහා කර්මාන්තය පමණක් නොවේ ඊට සහය දක්වන ප්‍රජාවගේද ජීවිතය යහපත් කරනවා. ”

මෙම ප්‍රදර්ශන කුටිය ඔස්සේ කර්මාන්තයේ නියැළී සිටින පතල් කම්කරුවන්, ස්වර්ණාභරණ නිෂ්පාදකයින් සහ මැණික් තාක්ෂණික ශිල්පීන් ඇතුළු සියලුම  වෘත්තීයන් කෙරෙහි අවධානය යොමු කරමින් අපූර්ව තිරසාර දායාදයක් බිහිකිරීම සඳහා මැණික් කර්මාන්තය වෙනුවෙන් ජීවිතය කැප කළ එම සෑම වීරයෙකුම ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ වෘත්තීයන් පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කිරීමට නියමිතය. එමෙන්ම මැණික් ලබා ගැනීමේ සිට වෙළඳපොළ දක්වා වූ  සැපයුම් දාමයේ සංකීර්ණත්වය සහ කර්මාන්තයේ තිරසාර බව සහතික කිරීම සඳහා දශක ගණනාවක් පුරා සිදු කරන ලද පියවර පිළිබඳව මනා අවබෝධයක් නරඹන්නන් වෙත සමීප කරනු ඇත.

ඓතිහාසික හා අධ්‍යාපනික තොරතුරු ප්‍රදර්ශනයට අමතරව ලන්ඩන් ටවර් සහ ස්මිත්සෝනියන් වැනි අන්තර්ජාතික ස්ථානයන් වෙත ගමන් කළ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මැණික් උරුමයන් ද මෙම ප්‍රදර්ශනයට එකතු කිරීම තවත් සුවිශේෂී කරුණකි. විවිධ  පරම්පරා හා මහාද්වීප පුරා විහිදී ගිය මෙම මැණික් පසුපස වටිනා සිදුවීම් සහ කතන්දර රැසක් ගැබ් වී තිබෙන අතර ඒවා ලෝකයේ වඩාත්ම කීර්තිමත් සහ අද්විතීය ස්වර්ණාභරණ සඳහා සබඳකම් දක්වයි. මැණික්වලට ප්‍රිය කරන සියලුම පුද්ගලයින්ට මෙන්ම ඉතිහාසය පිළිබඳ ගවේශකයන්ටත් , තිරසාර භාවිතයන් සහ වගකීම් සහගත වෘත්තීය භාවිතයන් සම්බන්ධව උනන්දුවක් දක්වන පිරිසටත් මෙවර FACETS Sri Lanka 2024 හි දී තිරසාර ප්‍රදර්ශන කුටිය නැරඹීමට මෙන්ම තිරසාර මැණික් කර්මාන්තයක් පෝෂණය කිරීම පිළිබඳ සංවාදයට සම්බන්ධ වීමට මැණික් හා ස්වර්ණාභරණ සංගමය සාදරයෙන් ඇරයුම් කරයි.

මෙම ප්‍රදර්ශන කුටිය දේශීය මැණික් කර්මාන්තයේ ඉතිහාසය, වෘත්තීයන් සහ නව්‍ය ප්‍රවේශයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට කැමති පුද්ගලයන් සඳහා වටිනා  අවස්ථාවක් වන අතර තිරසාර අනාගතයක් වැළඳ ගනිමින් දේශීය උරුමය සුරැකීමට FACETS Sri Lanka 2024 හි කැපවීම සනිටුහන් කරන කදිම සාක්ෂියක් වනු ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *